Gossips

ප්‍රහාරක ජෙට් යානා 100ක් ඉන්දියාවට

ඉන්දියාව නව ප්‍රහාරක ජෙට් යානා 100ක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඉන්දීය ගුවන් හමුදාවට එක් කරන මෙම නව ප්‍රහාරක ජෙට් යානා සඳහා ඉන්දීය රුපියල් කෝටි ලක්ෂයක් එනම්, ඇමරිකානු ඩොලර් බිලියන 15ක් පමණ වැය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඉන්දීය ගුවන් හමුදාවේ විවිධ අවශ්‍යතාවන් අනුව මෙම ප්‍රහාරක යානා රටවල් කිහිපයකින් ලබා ගැනීමට අපේක්ෂිතයි.
ස්වීඩනයේ සාබ්, ඇමරිකා එක්සත් ජනපදයේ ලොක්හීඞ් – මාර්ටින් සහ බෝයිං, ප්‍රංශයේ ඩැසෝල්ට් සමාගම්වලින් සහ රුසියානු මිග් යානා මෙන්ම යුරෝපීය ඒකාබද්ධ නිෂ්පාදනයක් වන යුරෝෆයිටර් ජෙට් යානා මේ අනුව ඉන්දියාව විසින් ඇණවුම් කරනු ඇති.
මෙම ජෙට් යානා ඇණවුම් අතුරින් පළමු ප්‍රහාරක යානා පෙළ ඉදිරි වසර තුන තුළ දී ලබා ගැනීමටයි ඉන්දියාව සැලසුම් කර ඇත්තේ.
එම ගනුදෙනුව සම්පූර්ණ වුවහොත් ලොව විශාලතම ප්‍රහාරක ජෙට් යානා ඇණවුම් ලෙස හැදින්විය හැකි බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේ නමුත්, මෙම ප්‍රහාරක ජෙට් යානාවලින් සියයට 85ක් මේඞ් – ඉන් – ඉන්ඩියා වැඩසටහන යටතේ අදාළ සමාගම් විසින් ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ඇතැයි අපේක්ෂා කරනවා.
මේ අතර, චීනයේ නැගී එන බලය සහ පාකිස්තානය ඉලක්ක කරගෙන විශාලතම ගුවන් අභ්‍යාසයක් පැවැත්වීමට ඉන්දියාව සැලසුම් කරනවා.
ගගන් ශක්ති ලෙස හඳුන්වා ඇති මෙම ගුවන් අභ්‍යාසය අප්‍රේල් 11 වන දා සිට 21 වන දා දක්වා ඕනෑම මොහොතක ක්‍රියාත්මක කිරීමටයි ඉන්දීය ගුවන් හමුදාව අපේක්ෂා කරන්නේ.
ඒ සඳහා ප්‍රහාරක ජෙට් යානා, ප්‍රවාහන ගුවන් යානා සහ හෙලිකොප්ටර් ඇතුළු ගුවන් හමුදා යානා 1100ක් යෙදවෙන අතර, ඊට නිලධාරීන් ඇතුළු ගුවන් හමුදා සාමාජිකයන් 15,000ක් එක්වනු ඇති.