Gossips

ප්‍රසන්න රණවීර අද පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර අද (15) පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට අදාළව පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් තත්ත්වය, මෙම කැදවීමට හේතු වී ඇති බව සඳහන්.
විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගිය 3 වන අඟහරුවාදා පාර්ලිමේන්තු සභා ගැබ මැදට පැමිණ විරෝධතාවක නිරත වුණා.
එහිදී සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ කරන ලද බවටයි ප්‍රසන්න රණවීර මන්ත්‍රවරයාට චෝදනා එල්ල වුණේ.
තමන් අද (16) දිනයේ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර කියා සිටියේ.
ස්ථාවර නියෝග 77 තුන වගන්තිය ප්‍රකාරව සෙංකෝලය පාර්ලිමේන්තුවේ සභා ගර්භය ඇතුළත තබා තිබෙන අවස්ථාවක එය ස්පර්ශ කිරීම හෝ එසවීම හෝ මගින් බරපතල විනය විරෝධී ක්‍රියාවක් සිදුකරනු ලබන යම් මන්ත්‍රීවරයෙකු විසින් එම වරද සිදුකරනු ලබනුයේ පළමු වරට යන කාරණය නොසලකා ඔහුගේ පාර්ලිමේන්තු සේවය සති 4 කට අත්හිටුවිය හැකියි.