Politics Sri Lanka

ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම, පාරවල් පළල් කිරීම හෝ බදු ගහලා වාහන ගෙන්වීම අඩු කිරීම නෙවෙයි

ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම, පාරවල් පළල් කිරීම හෝ බදු ගහලා වාහන ගෙන්වීම අඩු කිරීම නෙවෙයි

අද වනවිට රට තුළ උද්ගතව ඇති මාර්ග තදබදය ඇතුළු ප්‍රවාහන අර්බුදය, පාරවල් පළල් කිරීමෙන් හෝ වාහනවලට බදු ගහලා වාහන ගෙන්වීම අඩු කිරීම විසඳිය හැකි දෙයක් නොවන බවත් මෙය අධ්‍යාපනය, කර්මාන්ත, වෙළඳපොළ සහ රාජ්‍ය ආයතන ස්ථානගත කර ඇති ආකාරය අනුව ඇති වූ ප්‍රශ්නයක් බවත් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

මාර්ග තදබදය ඇතුළු ප්‍රවාහන අර්බුදය විසඳීම සඳහා රටටම සම්පූර්ණ සැළැස්මක් අවශ්‍ය බවත් එසේ නොමැතිව තැන්තැන්වලින් අල්ලාගෙන විසඳුම් ලබාදීමට නොහැකි බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය විසින් මෝටර් රථ වාහන පනතට සංශෝධනයක් ගෙන එමින් මෝටර් රථ අංක තහඩුවල ප්‍රමාණය හා මිල ගණන් වෙනස් කිරීම සඳහා වන සංශෝධන පිළිබඳව ඊයේ (21) පාර්මේන්තුවටගෙනා යෝජනාව සම්බන්ධයෙන් විවාදයට එක් වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා…

“අපේ ප්‍රවාහන ක්ෂේත්‍රය විශාල ගැටළුවලට මුහුණපා තිබෙනවා. ආණ්ඩුව මෙය නිවැරදිව නෙකළහෙත් රටේ ආරථිකයට මීළඟ මරු පහර වදින්නේ ප්‍රවාහනයෙන්. ප්‍රවාහන ප්‍රශ්නය විසඳීමට යම් හෝ වැඩපිළිවෙළක් පසුගිය කාළයේ දියත් කළේ නැහැ. පහුගිය ආණ්ඩුව තිබෙන පාරවල් පුළුල් කරනවා හැර ප්‍රවාහන ප්‍රශ්නය විසඳීමට විද්‍යාත්මක වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ නැහැ.

පසුගිය කාලයේදී විද්වතුන් ඉදිරිපත් කළ කිසිඳු විසදුමක් ගණන් නොගෙන තමයි ආණ්ඩුව අලුත් අලුත් විසඳුම් ඉදිරිපත් කරන්නේ. මෙගා පොලිස් අමාත්‍යාංශය වැඩපිළිවෙළවල් ඉදිරිපත් කරද්දි විද්වතුන්ගේ බුද්ධිමතුන්ගේ දායකත්වය ගත්තද කියන ප්‍රශ්නය තිබෙනවා.

ප්‍රවාහන පුශ්නය විසඳනවා නම් දුම්රිය දෙපාර්තුමේන්තුවේ හරි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ හරි, සී.ටී.බී. එකේ ප්‍රශ්නයක් නොව සමස්ත සමාජය සමඟ ගැටගැසී තිබෙන ප්‍රශ්නයක්.

පාසල් ආරම්භ වෙන වේලාවේත්, පාසල් අවසන් වෙන වේලාවේත් රටේ තිබෙන මාර්ග තදබදය කවුරුත් දකිනවා. ජනප්‍රිය පාසල් ප්‍රමාණයක් නඩත්තු කරමින් පාසල් බස් රථ ගාල් කිරීමෙන් කොතරම් ප්‍රශ්නයක් ඇති වෙලාද? ප්‍රධාන නගරවල ටියුෂන් පන්ති ආශ්‍රිතවත් මෙවැනි තදබදයක් තිබෙනවා. උදේට නුගේගොඩ තදබදයට එක්තරා පෞද්ගලික පාසලක සැළැස්මකට අනුව රථ පෙළගැස්වීම හේතුවක් වී තිබෙනවා.

මේක අධ්‍යාපනයත් එක්ක, කර්මාන්තත් එක්ක, වෙළඳපොළත් එක්ක, රාජ්‍ය ආයතන ස්ථානගත කර ඇති ආකාරය එක්ක ඇති වූ ප්‍රශ්නයක්. මේක පාරවල් පළල් කිරීමෙන් හෝ වාහනවලට බදු ගහලා වාහන ගෙන්වීම අඩු කිරීමෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. රටට සම්පූර්ණ සැළැස්මක් අවශ්‍යයි. එහෙම නැතුව තැන්තැන්වලින් අල්ලාගෙන විසඳන්න බැහැ.”