Gossips

ප්‍රවාහන පහසුකම් සාමාන්‍ය පරිදි, සිසුන් සහ රාජ්‍ය සේවකයන්ගේ පැමිණීමේ අඩුවක්

ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද (05) සංවිධාන කර ඇති ජනබලය විරෝධතාව පිළිබඳව අනාවරණය වීමත් සමඟ කොළඹ පාසල් රැසක සිසුන්ගේ සහ රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙනවා.
කොළඹ ප්‍රදේශයේ පිහිටි පාසල් කිහිපයකින් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි විදුහල්පතිවරුන් ද මෙය සනාථ කරනු ලැබුවා.
සාමාන්‍ය දිනවල උදෑසන කාලයේ කොළඹට පිවිසෙන මාර්ග සහ දුම්රියේ පවතින දැඩි තදබදය අද දක්නට නොලැබුණු බවයි වාර්තා වුණේ.
එමෙන්ම කොළඹ ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ආයතන රැසක සේවකයින්ගේ පැමිණීමේ අඩුවක් ද දක්නට ලැබුණා.
කෙසේ වෙතත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර කියා සිටියේ රාජ්‍ය සේවකයින්ගේ පැමිණිමේ අඩුවක් වාර්තා නොවන බවයි.
මේ අතර ජන බලය විරෝධතාව කොළඹදී පැවැත්වුව ද ප්‍රවාහන පහසුකම් සාමාන්‍ය පරිදි සිදුවන බව බස් සංගම් සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා.
එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු ද සිදුවන බවයි.
කාර්යාල දුම්රිය පස්වරුවේ ද නියමිත පරිදි ධාවනය කරන බව එහි උසස් නිලධාරියෙකු සදහන් කළා.
මධ්‍යම බස් නැවතුම්පොලෙන් පිටත් වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම බස් රථ නියමිත පරිදි ධාවනය වන බවයි එහි සභාපති රමාල් සිරිවර්ධන කියා සිටියේ.
එමෙන්ම සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සදහන් කළේ නියමිත පරිදි පෞද්ගලික බස් ද ධාවනය වන බවයි.