Gossips

ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් නොමැති බවට ජනතාවගෙන් චෝදනා

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට සිය ඥාතීන්ගේ නිවෙස් වෙත යාමට සහ යළි කොළඹ බලා පැමිණීමට ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් පරිදි සපයා ඇති බව ප්‍රවාහන බලධාරීන් පවසනවා.
කෙසේ වෙතත්, මගී ජනතාව සහ හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ ඇතැම් ප්‍රදේශවල ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන පහසුකම් නොමැති බවයි.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද දිනයේ සිට ලබන 23 වැනිදා දක්වා ප්‍රවාහන පහසුකම් ලබාදීම සඳහා බස් රථ ධාවනයට එක්කර ඇති බවයි.
එමෙන්ම, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවද අද, හෙට සහ අනිද්දා මගී ජනතාවගේ පහසුව සඳහා විශේෂ දුම්රිය ධාවන වාර කිහිපයක් යොදවා තිබෙනවා.
ඒ අනුව අද පස්වරු 7.20 ට කොළඹ කොටුවේ සිට බණ්ඩාරවෙල දක්වාත්, පස්වරු 7 ට මාතර සිට මරදාන දක්වාත්, පස්වරු 2.55 ට යාපනයේ සිට කොළඹ කොටුව දක්වාත් දුම්රිය කිහිපයක් යොදවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කෙසේ වෙතත්, හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ මගී ජනතාවට ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන පහසුකම් නොමැති බවයි.
වව්නියාව ප්‍රදේශයේ ජනතාවද අද දිනයේදී ප්‍රමාණවත් පරිදි පොදු ප්‍රවාහන සේවා නොමැතිවීම හේතුවෙන් අපහසුතාවයට පත්වූ බවයි වාර්තාවන්නේ.