Gossips

ප්‍රවාහන පහසුකම් අඛණ්ඩව

උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාවට තවදුරටත් ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන පහසුකම් සපයා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
එහි සභාපති රමාල් සිරිවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පෙර දිනවලට සාපේක්ෂව අද දිනයේ මගී ජනතාවගේ අඩුවක් දක්නට ලැබෙන බවයි.
කෙසේ වෙතත් දිවා රාත්‍රී ක්‍රියාත්මක වන පරිදි ප්‍රමාණවත් ලංගම බස් රථ පිටකොටුව – මධ්‍යම බස් නැවතුම්පලේ සිට දිවයින පුරා පිහිටි ගමනාන්තවලට යොදවා ඇති බව ඔහු සඳහන් කළා.
එය හෙට සහ අනිද්දා දිනයේද අඛණ්ඩව ක්‍රියාත්මක බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.
මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එච්.හේමචන්ද්‍ර කියා සිටියේ බැස්ටියන් මාවතේ පිහිටි පෞද්ගලික බස් රථ නැවතුම්පලේ සිට සෑම ප්‍රදේශයකටම බස් රථ යොදවා ඇති බවයි.
එමෙන්ම වැඩිපුර මුදල් අයකරන පෞද්ගලික බස් රථ පිළිබඳ 1955 අංකයට දැනුම්දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියා.
ගතවූ දින කිහිපය තුළ දෛනිකව අධිවේගී මාර්ගවල රථ වාහන ලක්ෂයක් පමණ ගමන් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.
එහි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ගම්බිම් බලා යන ජනතාව වැඩි වශයෙන් අධිවේගී මාර්ග භාවිත කිරීම මෙම ඉහළ යාමට හේතුවී ඇති බවයි.
මේ අතර අද උදෑසන 6 න් අවසන් වූ ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් රථවාහන නීති උල්ලංඝනය කළ රියදුරන් 10,147 දෙනෙකුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම කාලය තුළ රිය අනතුරු 233 ක් වාර්තාවී ඇති බවයි.