Gossips

ප්‍රභාකරන් මියගිය ද ත්‍රස්ත ජාලය ක්‍රියාත්මකයි – මුසා හසන්

එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් මියගිය ද ඔහුගේ ත්‍රස්ත ජාලය තවමත් ක්‍රියාත්මකව පවතින බවට තමන් සැක පළ කරන බව මලයාසියානු හිටපු පොලිස්පති මුසා හසන් පවසනවා.
එරට පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු කියා සිටියේ තවමත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රතිපත්තීන්ට සහ අදහස් වලට අනුකම්පාව දක්වන පිරිස් සිටින බවයි.
එලෙස අනුකම්පාව දක්වන පිරිස් හේතුවෙන් මලයාසියාව ඇතුලූ සියලූ රටවල්වලට තර්ජනයක් එල්ල විය හැකි බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
එම තත්ත්වය සුළුකොට තැකිය නොහැකි බවයි හිටපු පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.
ඇමරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කර ඇති අතර, මලයාසියාව ඇතුළු රටවල් 32 ක් එම සංවිධානයේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කර ඇති බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
2004 සහ 2005 වර්ෂවලදී මලයාසියාවේ සිට එල්.ටී.ටී.ඊ සංවිධානයට අරමුදල් රැස් කිරීමට කටයුතු කළ නීතිඥ සහ ගණකාධිකරණ වැනි වෘත්තීය මට්ටමේ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ද හිටපු පොලිස්පතිවරයා සිය සම්මුඛ සාකච්ජාවේදී තවදුරටත් ප්‍රකාශ කළා.
දශක 3 කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ලේ වැගිරීම් සිදුකරමින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කරනු ලැබුවත්, ඔවුන්ගේ ප්‍රතිපත්තීන්වලට අනුකම්පා කරන පිරිස් ලෝකයටම තර්ජනයක් බවත් ඔහු අවධාරණය කළා.