Gossips

ප්‍රභාකරන් බේරා ගැනීමට ක්‍රියාත්මක වූ ඉන්දීය මෙහෙයුමක් කරළියට

පසුගිය කොංග්‍රස් පාලන සමය තුළ එවකට කොංග්‍රස් සභාපතිනිය වූ සෝනියා ගාන්ධි සහ එවකට ස්වදේශ කටයුතු ඇමතිවරයා වූ පී. චිදම්බරම් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ ඍජුව සබඳතා පැවැත්වූ බවට භාරතීය ජනතා පක්ෂ නායකයෙකු සහ රාජ්‍ය සභා නියෝජිතයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි පවසනවා.
පසුගිය දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ සංචාරයක නිරත වූයේ ද ඔහුගේ ආරාධනයෙන්.
සුබ්‍රමනියම් ස්වාමි සිදුකළ නවතම හෙළිදරව්වට අනුව 2009 වසරේ මෙරට යුද්ධයේ අවසන් සමයේ දී චිදම්බරම් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් වෙත වැදගත් පණිවුඩයක් යොමු කර තිබෙනවා.
ඒ, ඉන්දීය නාවික හමුදාව ඔහු බේරා ගැනීමට පැමිණෙන බව පවසමින්.
එම පණිවුඩයට අනුව ප්‍රභාකරන් වෙරළාසන්නයට පැමිණි බවත්, ඉන්දීය නාවික හමුදාව නොව ශ්‍රී ලංකා නාවික හමුදාව එම ප්‍රදේශය වටලා තිබූ බවත්, පසුව වෙරළ පෙනි පෙනී ප්‍රභාකරන් මෙරට ආරක්ෂක හමුදා අතින් ජීවිතක්ෂයට පත්වූ බවත් සුබ්‍රමනියම් ස්වාමි සඳහන් කළා.
කෙසේ නමුත්, ඉන්දීය නාවික හමුදා යාත්‍රාවක් ශ්‍රී ලංකා වෙරළට පැමිණීමට සූදානමින් සිටි බවත්, මතු වූ දැඩි විරෝධය හමුවේ එය ඉන්දීය වෙරළෙන් පිටත් නොවූ බවත්, ඔහු වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම සැලසුම් වෙනස්වීම පිළිබදව ප්‍රභාකරන් දැනුවත් කිරීමට කොංග්‍රස් බලධාරීන් අපොහොසත් වූ බවයි සුබ්‍රමනියම් ස්වාමි ප්‍රකාශ කළේ.