Gossips

ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමේ සිවාජිගේ උත්සහය පොලීසියේ මැදිහත්වීමෙන් වැළකේ (ඡායාරූප)

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය නිමිත්තෙන් යාපනය ඇතුලු ප්‍රදේශ කිහිපයක අද (26) පෙරවරුවේ සැමරුම් වැඩසටහන් පැවති බවට වාර්තා වුණා.
යාපනය විශ්වවිද්‍යාලය සහ ප්‍රභාකරන්ගේ උපන් ගම වන වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ මෙලෙස සැමරුම් සිදුකර ඇති බවටයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුමක් රහසිගතව පවත්වා ඇති බවට වාර්තා වුණා.
විශ්වවිද්‍යාලය තුල එල්.ටී.ටී.ඊ ලාංජනය හෝ නිල ඇදුම්, ධජ යොදා ගනිමින් කිසිදු සැමරුමක් සිදු නොකරන ලෙසට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර තහනම් නියෝගයක් ද පනවා තිබූ අතර එම නියෝග ද නොතකමින් මොවුන් මෙලෙස සැමරුම් පවත්වා ඇති බවයි සඳහන් වන්නේ.
විශ්වවිද්‍යාලයේ පීඨ ගොඩනැගිල්ලක ප්‍රභාකරන්ගේ රුව සහිත පෝස්ටර් ද අලවා තිබූ බවද වාර්තා වනවා.
මේ පිළිබඳව දැන ගැනීම සඳහා අප යාපනය විශ්වවිද්‍යාලයෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ එවැනි කටයුත්තක් විශ්වවිද්‍යාල භූමිය තුල සිදුව නොමැති බවයි.
එමෙන්ම ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීම සඳහා වැල්වැටිතුරෙයි ප්‍රදේශයට යමින් සිටි තමන් ඇතුලු තවත් හතරදෙනෙකු පොලීසිය විසින් අද උදෑසන අත්අඩංගුවට ගත් බව උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් පොලීසිය සඳහන් කළේ ඔහු කිසිදු අවස්ථාවක අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බවයි.
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පොලීසියට කැඳවූ බවද වැල්වැටිතුරෙයි පොලීසියේ ප්‍රකාශකයෙකු මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී සඳහන් කළා.
මේ අතර මහවිරු සැමරුම සඳහා කිසිදු අවස්ථාවක රජය අවස්ථාව ලබාදී නොමැති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.