Gossips

ප්‍රධාන පුවතක් ගැන ජනාධිපති අවධානයෙන්

රජයේ ප්‍රධානතම දිනපතා පුවත්පතක සහ තවත් පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සීරිසේන, පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබෙනවා.
‘‘සිවිල් අරගලයකට පසුබිම හදන කිසිදු ක්‍රියාවකට ඉඩ නොතබන්න’’ සහ ‘‘රට බෙදන වැඩ ගැන ආරක්ෂක අංශ සීරුවෙන්’’ යන සිරස්තල යටතේ පළ වූ එම ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය දා පැවති ආරක්ෂක මණ්ඩලයේදී ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට උතුරේ පැවති ශෝක සැමරුම් පදනම් කර ගනිමින් අදාළ උපදෙස් ලබාදී ඇති බව ද අද පළව තිබූ පුවත්පත් වාර්තාවේ දැක්වුණා.
එහෙත් ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ කිසියම් පුද්ගලයෙකු හෝ සංවිධානයක් විසින් මෙම ප්‍රවෘත්තිය නිර්මාණය කර මාධ්‍ය ආයතන වෙත යොමු කර ඇති බවයි.
ඒ අනුව ඊට අදාළව කඩිනමින් පරීක්ෂණයක් සිදුකර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.