Gossips

ප්‍රදේශ රැසක ධීවරයින් භූමිතෙල් සහන ඉල්ලා විරෝධතාවල – මිල අඩු කරන්නැයි කාදිනල් හිමියන්ගෙන් ඉල්ලීමක්

භූමිතෙල් මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් දකුණ, බටහිර සහ වයඹ පළාත්වල සුළුපන්න ධීවරයින් අද මුහුදු යාමෙන් වැළකී වර්ජනයක නිරත වුණා.
ඔවුන් මුහුදු යාමෙන් වැළකී ධීවර වරාය හා තොටුපල ආශ්‍රිතව කළුකොඩි ඔසවා විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
උද්ගතවී ඇති අර්බුදය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා හලාවත – පුත්තලම ඒකාබද්ධ ධීවර සංවිධාන එකමුතුව හලාවත ධීවර වරාය පරිශ්‍රයේදී අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
මේ අතර, ඉන්ධන මිල පහළ හෙලන ලෙස ඉල්ලා රජයට බලකෙරෙන පෙත්සමකට අත්සන් තැබීමක් ද අද සිදුකෙරුණේ මීගමුව – ලෙල්ලම ධීවර වරායේදීයි.
භූමිතෙල් මිල ඉහළ දැමීමෙන් සමස්ත ධීවර ප්‍රජාව පීඩාවට පත්ව සිටින බැවින් මිල අඩු කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස අගරදගරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටිනවා.
උන්වහන්සේ කොච්චිකඬේ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මේ බව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, භූමිතෙල් මිල පහළ දමන ලෙස ඉල්ලා ධීවරයින් මුහුදු යාමෙන් වැළකී සිටීමත් සමඟ මත්ස්‍ය මිල ගණන් වල ඉහළ යාමක් ද දක්නට ලැබෙනවා.
ධීවර සංස්ථාව ප්‍රකාශ කළේ රුපියල් 720 කට තලපත් කිලෝග්‍රෑමයක් මේ වනවිට රුපියල් 800 ක මිලකට අලෙවි වන බවයි.
එමෙන්ම, රුපියල් 480 කට පැවති බලයා කිලෝවක් මේ වනවිට වෙළඳපොලේ අලෙවි වන්නේ රුපියල් 600 ත් 650 ත් අතර මුදලකටයි.
ඉන්ධන සහනාධාරය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා අද එම අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවක් කැදවා තිබූ අතර, එහිදී ඔහු කියා සිටියේ මේ මස 18 වනදා සිට ඉන්ධන සහනාධාරය ධීවරයින්ට ලබාදීමට කටයුතු කරන බවයි.
මේ අතර, භූමිතෙල් මිල ඉහළ යාම වතුකරයේ ජනතාවට ද දැඩි ලෙස බලපා තිබෙනවා.
වතුකරයේ බොහෝ නිවෙස්වල ජනතාව දෛනික ජීවිතය සඳහා භූමිතෙල් යොදා ගන්නා බැවින් එහි මිල ගණන් අඩු කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.