Gossips

ප්‍රදේශ කිහිපයකින් විදුලි කප්පාදු ගැන චෝදනා

දිවයිනේ ප්‍රදේශ රැසක තවදුරටත් විදුලි කප්පාදු කිරීම් සිදුවන බවට හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
පෙර දැනුම්දීමකින් තොරව මෙම විදුලි කප්පාදු කිරීම් සිදුකරන බවයි ජනතාව සඳහන් කළේ. පසුගියදා නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියා විරහිත වූ අතර, එය යථා තත්ත්වයට පත්කරන තුරු විදුලි කප්පාදු කිරීම් සිදුකෙරුණා.
නමුත් මේ වනවිට එම ජනන යන්ත්‍රය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇති පසුබිමකයි මෙම විදුලි බිඳ වැටීම් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන්නේ.
පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලි ජනන ක්‍රියාවලියට යොදා ගන්නා ජලාශවල ජල මට්ටම්ද සීඝ්‍රයෙන් මේ වනවිට පහත බැස තිබෙනවා.
පවතින තත්ත්වය මත කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය අද ආරම්භ කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව කෘත්‍රිම වැසි ඇති කිරීමට යොදා ගන්නා වළාකුළුවලට රසායනික ද්‍රව්‍ය ඉසින ගුවන් යානය අද පෙරවරුවේ රත්මලාන ගුවන් තොටුපළින් නික්මුණේ මස්කෙලිය ප්‍රදේශය වෙතයි.
කෙසේ වෙතත්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ විදුලිය කප්පාදු කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි.
නමුත්, මහරගම, ගම්පහ, මාතර, වැලිගම, රාගම, නිට්ටඹුව ඇතුළු ප්‍රදේශ රැසකට පැය කිහිපයක් දිනපතා විදුලිය විසන්ධි වන බවයි එම ප්‍රදේශවල හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
විදුලි කප්පාදුව හේතුවෙන් පීඩාවට පත් ජනතාව චෝදනා කළේ ඒ හේතුවෙන් තම දෛනික කටයුතු ද අඩාල වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විදුලිබල මණ්ඩල පනතට අනුව පෙර දැනුම්දීමකින් තොරව විදුලිය කප්පාදු කිරීමට එරෙහිව ජනතාවට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වූවද හැකියාව පවතින බවයි.
හිරු ප්‍රවෘත්ති අංශය මෙම විදුලි කප්පාදු කිරීම් සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා ඇතුළු උසස් නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වුණේ ඔවුන් දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.