Gossips

ප්‍රදේශ කිහිපයකට තද සුළං

උතුර, මධ්‍යම, ඌව, වයඹ සහ සබරගමුව පළාත්වලට අද සිට ප්‍රහාරාත්මක තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
එම පළාත්වල පැයට කිලෝමීටර් 60 ත් 70 ත් පමණ තද සුළං ඇතිවිය හැකි බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මහනුවර, නුවරඑළිය, මාතලේ, බදුල්ල, මොණරාගල, කුරුණෑගල, පුත්තලම, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට මෙන්ම යාපනය, මන්නාරම, මුලතිව්, වවුනියාව යන දිස්ත්‍රික්කවලටද එමඟින් බලපෑම් ඇතිවිය හැකියි.
සෙසු ප්‍රදේශවලට පැයට කිලෝමිටර් 50 ක පමණ තද සුළං ද ඇතිවිය හැකියි.
නිරිතදින මෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ මෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්වය ඉදිරි දින කිහිපයේදී වැඩිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.
එමෙන්ම සබරගමුව පළාතේත් කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකියි.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩිවිය හැකියි.
එවිට එම මුහුදු ප්‍රදේශ රලු විය හැකි අතර සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළං මේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතිනවා.
මේ පිළිබඳ ඉතා අවදානයෙන් කටයුතු කරන ලෙසටයි ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුම් දෙන්නේ.