Gossips

ප්‍රථම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විවෘත වෙයි

දුෂණ සහ මූල්‍ය අපරාධ නඩු විභාග කිරීම සඳහා පිහිටුවනු ලැබූ ප්‍රථම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද පෙරවරුවේ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළගේ අතින් විවෘත කෙරුණා.
නඩු ප්‍රමාදවීම් වැළැක්වීම සඳහා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය පිහිටු විය යුතු බවට රජය ගත් තීරණයකට අනුව උපරිමාධිකරණ සංකීර්ණය ආසන්නයේ පිහිටුවා තිබූ රථ වාහන අධිකරණ පරිශ්‍රයේ මෙය ස්ථාපිත කර තිබෙනවා.
මහා පරිමාණ මූල්‍ය වංචා විමර්ශනය කරන විශේෂ මහාධිකරණය පිහිටුවීම සඳහා වූ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ඒ අනුව යෝජිතව තිබුණේ විශේෂ මහාධිකරණ 3 ක් ස්ථාපිත කිරීමටයි. එහි විනිසුරුවරුන් ලෙස සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න කටයුතු කරනු ඇති. මේ අතර, විශේෂ මහාධිකරණයේ විභාග වන පළමු නඩුව එළඹෙන 24 වන දා කැදවීමට නියමිතයි.
ඒ අනුව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට එදිනට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පසුගිය දා සිතාසි නිකුත් කලා.
ඒ, ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය සාපරාධි ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළවයි.