Gossips

ප්‍රතිචාරයකට සූදානම් – ඉන්දියානු ප්‍රහාරයෙන් පසු ඉම්රාන් ඛාන් කියයි

දේශසීමාවෙන් ඔබ්බේ පාකිස්ථාන භූමියේ පිහිටි ජයිෂ් ඊ මොහොමඩ් ත්‍රස්ත පුහුණු කඳවුරකට එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් විශාල පිරිසක් විනාශ කළ බව ඉන්දියාව පවසනවා.
අද අලුයම 3.30 ට පමණ මිරාජ් – 2000 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා 12 ක් උපයෝගී කරගනිමින් කිලෝග්‍රෑම් දහසක් බරැති බෝම්බ හෙලු මෙහෙයුම සිය ඉලක්කය සපුරාගත් බවයි ඉන්දීය විදේශ ලේකම් විෙජ් ගෝක්ලේ සඳහන් කර තිබුණේ.
එහිදී ඔහු කියා සිටියේ ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් 300 කට අධික පිරිසක් මියයන්නට ඇති බවයි.
පසුගියදා කාශ්මීරයේ පුල්වාමා හිදී ඉන්දීය ආරක්ෂක හමුදා සාමාජිකයන් 40 කට වැඩි පිරිසක් මරුමුවට පත් කළ ප්‍රහාරයේ වගකීම භාරගත්තේ ද මෙම ප්‍රහාරයේ ඉලක්ක වූ ජයිෂ් ඊ මොහොමඩ් ත්‍රස්ත කල්ලියයි.
ඔවුන් ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවලද එවැනි මරාගෙන මැරෙන ප්‍රහාර සැළසුම් කර තිබූ බවට තොරතුරු ලැබුණු බව ඉන්දීය විදේශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.
ප්‍රහාරයෙන් විනාශ වූ බලකොට් හි කඳුකර වනාන්තර පෙදෙසෙක පිහිටි පුහුණු කඳවුර, ජයිෂ් ඊ මොහොමඩ් ප්‍රධානී මසූඩ් අසාර්ගේ මස්සිනා වන උස්ටාඩ් ගෞරි විසින් මෙහෙයවනු ලැබූ බව ඉන්දීය විදේශ ලේකම්වරයා සඳහන් කළේ ප්‍රහාරයේ වීඩියෝ පටයක්ද නිකුත් කරමින්.
කෙසේ නමුත් පාකිස්ථානය කියා සිටියේ ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා සිය දේශසීමාව උල්ලංඝනය කිරීමේදී ඔවුන් වැළැක්වීමට තම ගුවන් හමුදාව ක්‍රියාකළ බවයි.
ඉන්දීය යානා පලායද්දී ඔවුන් රැගෙන ආ බෝම්බ ජනශුන්‍ය ප්‍රදේශයකට හෙලු බවත් ඉන් කිසිවෙකුට හානියක් සිදු නොවූ බවත් පාකිස්ථාන සන්නද්ධ හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් අසිෆ් ගෆූර් ප්‍රකාශ කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.
ඊට ඉන්දියාව හෙලු බෝම්බවල කොටස් සහිත ඡායාරූපද එක්කර තිබුණා.
කෙසේ නමුත් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එරට ජාතික ආරක්ෂක කමිටුවේ හදිසි රැස්වීමක් කැඳවා තිබෙනවා.