Gossips

පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමයට පැවැත්වීමට රජයේ අවධානය

ඉදිරි පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.
දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ අද පෙරවරුවේ පැවති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වන දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් සහ කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරන් යන අමාත්‍යවරුන් එක්ව සිටියා.
එසේම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එහි නායක ආර්.සම්බන්ධන් සහ එම්.ඒ.සුමන්දිරන් මෙන්ම ඊ.පී.ඩී.පී.සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා මෙම සාකච්ඡාවට එක්ව සිටියේ එක්සත් ජාතික පෙරමුණේ ආරාධනයෙන්.
මේ අතර, එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත්කළ විශේෂ දේශපාලන මණ්ඩලය ප්‍රථම වතාවට අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී රැස්වුණා.
ඒ, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
පසුගිය 07 වැනිදා පැවති විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නියෝජිතයන් 12 දෙනෙකුගෙන් සමන්විත මෙම විශේෂ දේශපාලන මණ්ඩලය පත්කරනු ලැබුවේ මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයෙන්.
කෙසේ වෙතත්, අද පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ දේශපාලන මණ්ඩල රැස්වීමට එහි සාමාජිකයින් කිහිපදෙනෙකු එක්ව සිටියේ නැහැ.