Gossips

පළාත් සභා මැතිවරණය ප්‍රමාද වීම ගැන විපක්ෂයෙන් චෝදනා

පළාත් සභා 5 ක නිල කාලය අවසන්ව ඇතත් මෙතෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය අපොහොසත් වී ඇති බවට විපක්ෂය චෝදනා කරනවා.
පසුගිය 10 වනදා වයඹ පළාත් සභාවේ නිල කාලය අවසන් වූ අතර, ලබන 25 වනදා උතුර පළාත් සභාවේ නිල කාලය අවසන් වීමට නියමිතව තිබෙනවා.
ඊට අමතරව, සෙසු පළාත් සභා තුනෙහි නිල කාලය අවසන් වන්නේ ලබන වසර තුළදීයි.
ඒ අනුව, ලබන වසරේ අප්‍රේල් මස 10 වනදා දකුණු පළාත් සභාවේ නිල කාලය අවසන් වන අතර, එම මස 21 වනදා බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අවසන් වීමට නියමිතයි.
ඌව පළාත් සභාවේ නිල කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ සැප්තැම්බර් මාසයේදීයි.
මේ වනවිට සබරගමුව, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ වයඹ යන පළාත් 5 හි නිල කාලය අවසන්ව ඇති අතර, ඒවායේ පාලනය මේ වනවිට පවතින්නේ පළාත් ආණ්ඩුකාරවරුන් යටතේයි.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු අතර, ඡන්ද විමසීමේදී ඊට පක්ෂව කිසිදු ඡන්දයක් නොලැබීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප වුණා.
අනතුරුව එම සීමානිර්ණ කමිටු වාර්තාව සංශෝධනය කර යළි ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පිහිටුවනු ලැබූ අතර, සිය වාර්තාව ලබාදීමට එම කමිටුව මෙතෙක් කටයුතු කර නැහැ.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව තුළ ප්‍රතික්ෂේප වූ සීමානිර්ණ වාර්තාව සකස් කළ කමිටුවේ සභාපති කනගරත්නම් තවලිංගම් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ තමන් ඇතුලූ කමිටුව සකස් කළ වාර්තාවේ කිසිදු වරදක් පිළිබදව මේ වනතෙක් ඔවුන් දැනුවත් කර නොමැති බවයි.
පළාත් සභා 5 ක නිල කාලය අවසන්ව ඇතත් තවමත් මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අප පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ මනාප ක්‍රමයෙන් තොර මැතිවරණ ක්‍රමයක් යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව ලැබීමෙන් අනතුරුව මැතිවරණය පැවැත්විය හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.