Gossips

පළාත් සභා මැතිවරණය ගැන දේශපාලන පක්ෂ මත දෙකක

ඉදිරි පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමයටම පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක මතය වී ඇතැයි එහි මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඊයේ ඔහු මේ බව කියා සිටියා.
ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ ආණ්ඩුව දිගින් දිගටම පළාත් සභා මැතිවරණය කල් දැමීමේ උත්සාහයක නිරතවන බවයි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ බව සඳහන් කළා.
මේ අතර අනුරාධපුරයේදී ඊයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්විය යුතු බවයි.
ඕනෑම මැතිවරණ ක්‍රමයක් යටතේ පළාත් සභා මැතිවරණයට මුහුණදීමට තම පක්ෂය සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.