Gossips

පළාත් සභා ඡන්දය ලබන වසරට

නව ඡන්ද හිමි නාමලේඛනය ඔක්තෝම්බර් මුල් සතිය තුළ සහතික කර නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.
එහි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ඔක්තෝම්බර් මුල් සතියේ 2018 වර්ෂයට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය සහතික කර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
නව ඡන්ද හිමි නාමලේඛනයේ ඡන්ද දායක සංඛ්‍යාව දෙලක්ෂයකින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන්.
කෙසේ නමුත් ඡන්ද දායකයන් එක්වරකට වඩා ලියාපදිංචිවීම වැළැක්වීමට පියවර රැසක් ගනු ලැබූ බවද අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් ප්‍රකාශ කළා.
එමෙන්ම පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජනවාරි මාසය දක්වා කල් යාමේ හැකියාවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර නිල කාලය අවසන් වී ඇති නැගෙනහිර, උතුරුමැද සහ සබරගමුව පළාත් සභා මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පිළිගත් දේශපාලන පක්ෂ නායකයන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමුකිරීමටද පියවර ගෙන තිබුණා.