Gossips

පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට තබන්න, නව කෙටුම්පතක්

පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නව පනතක් ගෙන ඒම සඳහා අවශ්‍ය මූලික කෙටුම්පත සකස් කිරීමට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව සති දෙකක පමණ කාලසීමාවක් තුළ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව මුලික කෙටුම්පත සකස් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ 2017 වසරේදී නව ක්‍රමවේදයකට පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතු බවට සම්මත වී ඇති පනතට සංශෝධිත පනතක් ලෙස මෙම පනත සකස් කෙරෙන බවයි.
ඒ අනුව 1988 අංක දෙක දරණ පළාත් සභා ඡන්ද විමසීමේ පනත යළි බලාත්මක කර, අඩුපාඩු සකස් කිරීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම සඳහා අවශ්‍ය නීතිමය පරිසරය සැකසීම මෙහි අරමුණයි.
මෙම නව පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා ෆයිසර් මුස්තාෆා විෂය භාර අමාත්‍යවරයාව කටයුතු කළ සමයේ කැබිනට් අනුමැතිය ද ලබාගෙන තිබෙනවා.
මේ පිළිබඳව රජයේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් අතර සාකච්ඡා වට කිහිපයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව ද රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.
පළාත් සභා 6ක නිළ කාලය මේ වන විට අවසන් වී ඇති අතර, බස්නාහිර සහ දකුණු පළාත් සභාවල නිළ කාලය අවසන්වීමට නියමිතව ඇත්තේ එළඹෙන මාර්තු මාසයේදියි.
ඌව පළාත් සභාවේ නිළ කාලය ඔක්තෝම්බර් මාසයේදී අවසන් වීමටයි නියමිතව ඇත්තේ.
කෙසේ වෙතත්, පළාත් සභා සහ පළාත් පාලන විෂය භාර රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සදහන් කළේ විසුරුවා ඇති පළාත් සභාවල ඡන්දය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු බවට මේ වන තුරුත් රජය අවසන් තීරණයකට එළඹ නොමැති බවයි.