Gossips

පළාත් සභා ඡන්දය ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කතානායක කරූ ජයසූරිය හමුවීමට නියමිතයි.
පළාත් සභා ඡන්දය තවදුරටත් කල් නොදමන ලෙසත් එය පැවැත්වීමට අවශ්‍ය නීතිමය පසුබිම හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවෙන් ඇති කර දෙන ලෙසත් මෙම හමුවේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනු ඇති බවයි වාර්තාවන්නේ.
නැගෙනහිර, උතුරුමැද සහ සබරගමුව පළාත් තුනේ නිල කාලය පසුගිය සැප්තැම්බර් මාසයේදී නිමාවූ නමුත් වසරකට ආසන්න කාලයක් ගතව ඇතත් මෙතෙක් එම පළාත් සභාවල මැතිවරණ පවත්වා නැහැ.
ඒ සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවේදී කථානායකවරයාගේ අවධානය දැඩිව යොමු කිරීමට අපේක්ෂා කරන බවයි වාර්තාවන්නේ.
මධ්‍යම, වයඹ සහ උතුරු පළාත් සභා තුනේ නිල කාලයද ලබන සැප්තැම්බර් මාසයේදී අවසන්වීමට නියමිතයි.
පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වීමට නම් දැනට සම්මත කර තිබෙන පනත සශෝධනය කළ යුතු අතර, නව ක්‍රමය හෙවත් කොට්ඨාශ ක්‍රමයට පවත්වන්නේ නම් මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පළාත් සභා සීමා නිර්ණ වාර්තාව සම්මත කළ යුතුයි.
මෙම කාර්යයන් දෙකෙන් එකක් ඉටු කෙරෙන තුරු මැතිවරණ කොමිසන් සභාවට පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පෙරේදා දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අතර හමුවක්ද පැවැත්වුණා.