Gossips

පළාත් පාලන සභිකයන්ගේ නම් ගැසට් කිරීම 2 වන දායින් පසු – මැතිවරණ කොමිසම

අතිරේක ලැයිස්තුවල නම් ලද විගස එම නම් සහ කොට්ඨාශ මට්ටමින් තේරී පත්වූ සභිකයන්ගේ නම් ගැසට් කිරීමට සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා.
අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ මාර්තු 2 වන දා වන විට අදාළ නම් ලැබෙන්නේ නම්, තුන්වන දා නම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ හැකි බවයි.
අතිරේක ලැයිස්තු සකස් කිරීම පිළිබදව දේශපාලන පක්ෂවලින් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් කියා සිටියේ කඩිනමින්ම තම පක්ෂයේ නාම ලේඛන සකස් කර අවසන් කරන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි එක්සත් ජාතික පක්ෂයේ අතිරේක ලැයිස්තු සකස් කිරීම අවසන් අදියරේ තිබෙන බවයි.
ලබන 2 වන දාට පෙර අතිරේක ලැයිස්තු සකස් කර භාරදීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සියලූම සංවිධායකයින්ට දැනුම් දී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ කියා සිටියේ.
මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ අතිරේක ලැයිස්තු මේ වන විටත් සකස් කර අවසන් බවයි එහි දේශපාලන මණ්ඩල සභික පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල සඳහන් කළේ.
මේ අතර, පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ නගරාධිපතිවරු සහ සභාපතිවරු තේරීමේදී දක්ෂ පුද්ගලයින්ට එම ස්ථානය ලබාදීමට අදාළ දේශපාලන පක්ෂ කටයුතු කළ යුතු බවයි.