Gossips

පළාත්පාලන සභිකයින්ගේ නම් ගැසට් කරන්නැයි ඉල්ලීමක්

පළාත්පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලැබූ සභිකයින්ගේ සහ අතිරේක ලැයිස්තුවෙන් තෝරාපත් කර යවනු ලබන සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසම විසින් වහාම ගැසට් පත්‍රයේ පළ කළ යුතු බව පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශ ලේකම් එච්.ටී. කමල් පද්මසිරි නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මාර්තු මස 6 වනදා සිට පළාත්පාලන ආයතනවල සභිකයන්ගේ ධුර කාලය ආරම්භ වන බවයි.
එමෙන්ම පළාත්පාලන ආයතනවල සමස්ත ආසන සංඛ්‍යාවෙන් සියයට 50කට වැඩි ආසන සංඛ්‍යාවක් පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ලබාගැනීමට අසමත්ව ඇති අවස්ථාවේදී එම පළාත්පාලන ආයතනයේ පළමු රැස්වීමේදී නගරාධිපතිවරයා හෝ නියෝජ්‍ය නගරාධිපතිවරයා සභිකයින්ගේ ඡන්දයෙන් තෝරා පත් කරගත යුතු බවද එම නිවේදනයේ දැක්වෙනවා.
පළාත්පාලන ආයතනවල කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් ඉදිරියේදී පැවැත්වෙන පළාත්පාලන ඡන්දයකදී එය නිවැරදි කරගැනීමේ හැකියාව පවතින නමුත් පැවති ඡන්දයට අදාළවන සේ සංශෝධන සිදුකළ නොහැකි බව අමාත්‍යාංශ ලේකම්වරයා සිය නිවේදනය මගින් තවදුරටත් දක්වා තිබෙනවා.
මේ අතර මැතිවරණ කොමිසම පසුගියදා ප්‍රකාශ කළේ අතිරේක ලැයිස්තුවෙන් නම් කරන ලද සභිකයින්ගේ නාමලේඛන ඉදිරි සතිය ඇතුළත ලබාදෙන ලෙසටයි.
කෙසේ වෙතත් ජනතා කැමැත්ත ඇති නියෝජිතයින් නම් කිරීමට දේශපාලන පක්ෂ වග බලා ගත යුතු බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහන හෙට්ටිආරච්චි සඳහන් කළේ.