Gossips

පළමු 20 යි 20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශය සමග පැවති පළමු 20 යි 20 තරගය කඩුලු 6 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා.
ඩකාහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 193 ක් ලබාගත්තා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල අභියෝගයක් වූ සෞම්ය සර්කාර් පන්දු 32 කින් ලකුණු 51 ක් ලබාගත්තා.
ඔහු දැවී ගියේ ජීවන් මෙන්ඩිස්ගේ පළමු පන්දු වාරයේ පළමු පන්දුවෙන්.
දැවී යාමත් සමග ආබාධයකට ලක්වු සෞම්ය සර්කාර් ක්‍රීඩාකාරයට පිටත්ව ගියේ අතිරේක ක්‍රීඩකයන්ගේ සහයෙන්.
ජීවන් මෙන්ඩිස් කඩුලු 2ක් බිඳහෙලුවා.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
ජාත්‍යන්තර 20 යි 20 පිටියේ තම පළමු අර්ධ ශතකය රැස් කිරීමට කුසල් මෙන්ඩිස් සමත්වුනා.
ඔහු ලකුණු 50 ක් රැස් කළේ පන්දු 25 කින්.
ඊට හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් ඇතුලත්.
අෆීෆ් හුසේන්ගේ පන්දුවකට සෞම්ය සර්කාර් අතට උඩ පන්දුවක් ලබාදෙමින් කුසල් මෙන්ඩිස් දැවී යන විට ලකුණු 53 ක් ලබා සිටියා.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 30 යි. උපුල් තරංග ලකුණු 4 කට දැවී ගියා.
දසුන් ශානක නොදැවී ලකුණු 42 ක් සහ තිසර පෙරේරා නොදැවී 39 ක් ලබාගත්තා.
දසුන් ශානක ලකුණු 42 ලබාගත්තේ පන්දු 24 ක් වන අතර තිසර පෙරේරා ලකුණු 39 ලබාගත්තේ පන්දු 18 කින්.
ශ්‍රී ලංකා කණ්ඩායම 20 යි 20 ජාත්‍යන්තර තරගයක වැඩි ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේදී ද හඹාගිය වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන සහ අවසන් 20 යි 20 තරගය ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි.