Gossips

පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරගැනීම අද- ජාතික උත්සවය ගිරිඋල්ලේ

2019 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම අද සිදුවනවා. එහි ජාතික උත්සවය ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්වෙන අතර, ඊට සමගාමීව ‘එකට වවමු, එකට වැඩෙමු’ විශේෂ රුක්රෝපණ වැඩසටහනද ක්‍රියාවට නැංවෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.
දිවයිනේ ක්‍රියාත්මක වන පාසල් 10,194 න් 9193 ක ප්‍රාථමික අධ්‍යාපන අංශ ක්‍රියාත්මක වන අතර, සෑම වසරකම 340,000 කට ආසන්න දරුවන් සංඛ්‍යාවක් පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කෙරෙනවා.
මේ අතර, කරන්දෙනිය යක්කටුව කණිෂ්ඨ විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් වීමට අපේක්ෂාවෙන් සිටි සිසුන් පිරිසක් පත්ව ඇති අපහසුතාවක් පිළිබඳව පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
පසුගිය වසරේ සිට වසා දමා තිබූ පාසල යළිත් වතාවක් මෙම වසරේ සිට ආරම්භ කරන බව පැවසුවත්, ගුරුවරුන් හෝ විදුහල්පතිවරයෙකු පාසලට අනුයුක්ත නොකිරීම හේතුවෙන් තම දරුවන්ට මේ වනවිට පාසලක් නොමැති වී ඇති බවයි දෙමව්පියන් ප්‍රකාශ කළේ.
අප මේ සම්බන්ධයෙන් ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියගෙන් විමසීමක් කළා.
ඇය කියා සිටියේ වසා දමා ඇති මෙම පාසල යළි ආරම්භ කිරීමට දකුණු පළාත් අධ්‍යාපන කාර්යාලයෙන් අවසරයක් හිමිවිය යුතු බවයි.
අදාළ දරුවන් ප්‍රදේශයේ පිහිටි වෙනත් පාසලකට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඇය කියා සිටියා.