Gossips

පළමු රන්දෝලි පෙරහර අද

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (21) රාත්‍රී 7.37ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.
අදින් ආරම්භ වන රන්දෝලි පෙරහර පුරා දින 5ක් පැවැත්වෙන අතර, අවසන් මහා පෙරහර අගෝස්තු 25 වන පුන් පොහෝ දින පැවැත්වීමට නියමිතයි.
මේ අතර, ඇසළ පෙරහර මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩම කරවන නැදුන්ගමුවේ රාජා හස්තියා ඊයේ (20) දළදා මාළිගාවට පැමිණියා.
නැදුන්ගමුවේ රාජා හස්තියා මෙවර කරඬුව වැඩම කරවීම සිදුකරනු ලබන්නේ 12 වන වරටයි.
රාජා හස්තියා පසුගිය 14 වන දා නැදුන්ගමුවේ සිට මහනුවර දක්වා ගමන් ආරම්භ කළා.
ස්ථාන කිහිපයකදී ගමන් විඩාව සංසිදුවා ගනිමින් දළදා සමිදුන් වැඩම කරවීමේ උතුම් අරමුණින් රාජා හස්තියා මහනුවරට ළඟා වූයේ පා ගමනින් වීම ද විශේෂත්වයක්.
වසර ගණනක් පුරා ආරක්ෂාවක් නොමැතිව පෙරහරට සහභාගි වන නැදුන්ගමුවේ රාජා හස්තියාට පොලිස් හා යුද හමුදා ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නේ ද ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයෙන් පසුවයි.