Gossips

පළමු එක්දින තරඟයෙන් දකුණු අප්‍රිකාවට දැවැන්ත ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරඟ 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය අද පැවති පළමු තරඟය ජය ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.
ඔවුන් මෙම තරඟය ජය ගත්තේ කඩුලු 08කින්.
ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරඟයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47ක් තුල සියල්ලන් දැවී ලකුණු 231ක් රැස් කළා.
ඒ අනුව ලකුණු 23ක් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 2ක් බිඳ වැටුණේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 8කට සහ 9කට දැවී යාමත් සමගයි.
අද ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගත් ඕෂධ ප්‍රනාන්දු කුසල් ජනිත් සමඟ එක්ව තෙවන කඩුල්ලට ලකුණු 76ක අගනා සබඳතාවක් ගොඩ නැගුවා.
කුසල් ජනිත් ලකුණු 33යි.
දර්ශනීය පිතිහරඹයක නිරත වූ ඕෂධ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 49ක් රැස් කළා.
ඔහුට සිය මංගල තරඟයේදී ම අර්ධ ශතකයක් රැස් කිරීමේ අවස්ථාව එක් ලකුණකින් මගහැරී ගියේ දුවද්දී දැවීයාමකට හසුවීම හේතුවෙන්.
අනතුරුව පිටියේ එක්වූ ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව යලි ස්ථාවර මට්ටමකට එන එමින් 5 වන කඩුල්ලට ලකුණු 94ක් රැස් කළා.
ධනංජය ලකුණු 39ක් ලබා ගත්තා.
වරෙක ලකුණු 195කට කඩුලු 04ක් පමණක් දැවී ප්‍රබල තත්ත්වයක පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ බිඳ වැටුනේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ අයුරින්.
ලකුණු 36 ක් තුළ ඔවුන්ගේ අවසන් කඩුලු 6ම දැවී ගියා.
මේ අනුව ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වුනේ සියල්ලන් දැවී ලකුණු 231ක් ලෙසින්, පන්දු යැවීමේදී ඉම්රාන් තහීර් සහ ලුන්ගි එන්ගිඩි කඩුලු 3බැඟින් දවා.
ඒ අනුව ලකුණු 232ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව පන්දුවාර 38යි පන්දු 05ක් තුල එම ඉලක්කය පසුකර ගියා.
එහිදී නොදැවී ලකුණු 112ක් රැස් කළ ෆෆ් ඩුප්ලේසී සිය කණ්ඩායම ජයග්‍රහණයකරා රැගෙන ගියා.
ඔහුට අනෙගි සහයක් ලබාදුන් කුවින්ටන් ඩී කොක් ලකුණු 81ක් රැස් කළේ හතරේ පහර 11ක් සමඟින්.