Gossips

පහර දුන් බවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගෙන් එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමට චෝදනා

හිටපු වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් තමාට පහරදුන් බව පවසමින් අගලවත්ත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු රෝහල්ගත වී ඇති අතර, ඔහු මතුගම පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.
ඊයේ දිනයේදී එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹදී සංවිධාන කර තිබූ රථ පෙළපාලියට සහභාගි වීම සඳහා තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ පැමිණෙමින් සිටියදී මතුගම – යටදොල ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති බව සඳහන්.
පරුෂ වචන කියමින් මුහුණ සහ ගෙළ ප්‍රදේශයට පහරදුන් බව පවසමිනුයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මෙලෙස රෝහල්ගත වී ඇත්තේ.
නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගෙන් මේ වනවිට පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය පරීක්ෂණ මෙහෙය වනු ලබනවා.
මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ කිසිදු පුද්ගලයෙකුට තමන් පහර නොදුන් බවයි.
ඊයේ දිනයේදී තමන් කොළඹ රැඳී සිටි බවද ඔහු කියා සිටියා.