Gossips

පසුගිය වසර 25 තුල බිහිවූ විශිෂ්ඨතම පන්දුවාර 20 කණ්ඩායම නම් කරයි

පසුගිය වසර 25 ඇතුළත බිහිවූ විශිෂ්ඨතම පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම නම් කර තිබෙනවා.
ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙක්, පාකිස්ථාන ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් දෙදෙනෙක් ඇතුළත් වන අතර නවසීලන්තය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්ථානයෙන් එක් ක්‍රීඩකයෙක් බැගින් ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව ඉන්දියානු ක්‍රීඩකයින් වන විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝණි සහ රෝහිත් ශර්මා මෙම කණ්ඩායමට ඇතුළත්.
ෂහිඩ් අෆ්රිඩි සහ උමා ගුල් මෙම කණ්ඩායමට නම් කර ඇති පකිස්ථාන ක්‍රීඩකයින් වන අතර ක්‍රිස් ගේල්, ඩ්වේන් බ්‍රාවෝ මෙම කණ්ඩායමට නම් කර ඇති කොදෙව් ක්‍රීඩකයින්.
නවසීලන්තය කණ්ඩායමේ හිටපු ප්‍රවේගකාරී පිතිකරු බ්‍රෙන්ඩන් මැකලම් සහ මේ වන විට පන්දුවාර 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි මුල්තැන ගෙන සිටින ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සුපිරි පිතිකරු ඒ.බී.ඩිවිලියස් ද මෙම කණ්ඩායමට ඇතුළත්.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට මෙම කණ්ඩායමේ තැනක් හිමිව තිබීමද විශේෂත්වයක්.
ඉන්දීය කණ්ඩායමේ හිටපු නායකයෙක් වන මහේන්ද්‍ර සිං දෝණි මෙම සුවිශේෂී කණ්ඩායමේ නායකයා ලෙස නම් කර තිබෙනවා.
විශේෂ පුද්ගලයින් 05 දෙනෙකුගෙන් සමන්විත ජූරියක් මඟින් මෙම කණ්ඩායම නම් කිරීම සිදුකර ඇති අතර ජනප්‍රිය ක්‍රීඩා වෙබ් අඩවියක් වන ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් මෙය ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
මෙම ජූරියට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ඉයන් චැපල්, ඉන්දීය හිටපු ක්‍රීඩක සංජේ මන්ජේකාර්, නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායක ජෝන් රයිට්, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙක් වන ඩේව් වට්මෝ සහ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන මාක් නිකලස් ඇතුළත්.