Gossips

පස්සරදී ගුරුවරයෙකුගෙන් පහර කෑ සිසුවෙකු රෝහලේ

පස්සර – මඩුගස්තලාව කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස කටයුතු කරන හිමි නමක සිදුකළ පහරදීමකින් එම විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු රෝහල් ගත කිරීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
ඊයේ (23) දිනයේ සිදුව ඇතැයි කියන මෙම පහරදීමෙන් තුවාල ලැබූ සිසුවා මේ වනවිට පස්සර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
නිවසේදී සිදුකිරීමට දෙන පාසල් අභ්‍යාස අතපසු කර තිබීම හේතුවෙන් අදාළ හිමිනම සිසුන්ට දඩුවම් කර තිබෙනවා.
එහිදී හිසට තුවාල ලබා ඇති මෙම දරුවා රෝහල් ගත කළ බවයි ඔහුගේ පියා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව මඩොල්සිම පොලීසියේ උසස් නිලධාරියෙකු කියා සිටියා.
මේ අතර, කුරුණෑගල – මාවතගම – සාමෝදය මධ්‍ය මහා විද්‍යාලයේ තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ගුරුවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි වාර්තා වනවා.
ඔහු අත්අඩංගුවට ගැනීම සදහා කටයුතු කරන බවයි මාවතගම පොලීසිය සදහන් කළේ.
ගුරුවරයාගේ උපදෙස් මත උණභටයක දම්වැලක් ආධාරයෙන් බැද මෙම සිසුවාට පන්තියේ අනෙකුත් සිසුන් පහරදී තිබුණේ පෙරේදා දිනයේදීයි.
මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරින්ගෙන් කැදවූ වාර්තාව ලබන සදුදා ලැබීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියා.
එසේම, මහියංගනයෙන් අතරමංවූ දැරියක් වැල්ලවාය බස් නැවතුම්පොල අසලදී ඊයේ රාත්‍රියේ හමුවීමේ සිදුවීමක් ද හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
12 හැවිරිදි ඇය සුළු පියාගෙන් සිදුවන හිරිහැර හමුවේ නිවසින් පිටව ආ බව පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.
දැරියගේ මව සහ සුළු පියා මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් මහියංගනය පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, ඒ අනුව අදාළ දැරිය ඔවුන් වෙත භාරදීමට කටයුතු කරන බවයි වැල්ලවාය පොලීසිය සදහන් කළේ.