Gossips

පශ්චාත් යුද සමය ගැන ජනපතිගේ නව යෝජනාවලිය 25 වනදා ජගත් මහා මණ්ඩලයට

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ලබන 25 වනදා නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදීයි.
එම යෝජනාවලිය මගින් යුද්ධයෙන් පසුව ඇති වී තිබෙන තත්ත්වයන් සුහදව විසඳා ගන්නේ කෙසේ දැයි යන්න පිලිබඳව ජාත්‍යන්තරයේ අවධානය යොමුකරවීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම, කීත් නොයාර් පැහැර ගෙන යාම සහ තරුණයන් 11 දෙනෙකු අතුරුදන්වීමේ සිද්ධීන් පිළිබඳව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී අදහස් පළ කර තිබෙනවා.
ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම ප්‍රමාද වී ඇති බවයි.
නඩු පැවරීමක් සිදුනොකළ ද ඇතැම් හමුදා නිලධාරින් අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රඳවාගෙන සිටින බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.
එය එසේ සිදුනොවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට ද චෝදනා එල්ල කර ඇති අතර, ඔහුට එරෙහිව ද මෙතෙක් නඩු පැවරීමක් සිදුකර නැහැ.
චෝදනාවලට ලක්වූවන් නඩු පැවරීමකින් තොරව අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් තිස්සේ රඳවා තබා ගැනීම සිදුනොකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂණ මෙහෙය වන අංශ වල නිලධාරින් කැඳවා තමන් දැඩි ලෙස උපදෙස් ලබාදුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය ප්‍රධානීන් හමුවේ සඳහන් කර තිබෙනවා.
මේ අතර, රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටලූවක් නොමැති බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.
30 වසරක යුද්ධය සහ එහි පසුබිම සම්බන්ධයෙන් ග්‍රන්ථයක් සම්පාදනය කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
තෙල් මිල සූත්‍රය සම්බන්ධයෙන් ද අදහස් පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී ප්‍රකාශ කළේ එහි ගැටලූ පවතින බැවින් මිල සූත්‍රය තවදුරටත් පවත්වාගෙන යන්නේ ද සංශෝධනය කරන්නේ ද යන්න පිලිබඳව ඉදිරියේදී තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවයි.
එමෙන්ම, සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් තමන් පත් කළ කමිටුවේ නිර්දේශ ලැබීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ එළඹෙන නොවැම්බර් 8 වනදා ලබන වසර සඳහා වන අයවැය ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.