Gossips

පශ්චාත් මැතිවරණ සමයේ ප්‍රචණ්ඩ ක්‍රියා 40ක්

පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ ප්‍රචන්ඩ ක්‍රියා 40 ක් පමණ වාර්තාවී ඇති බව පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කළා.
එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ මීට පෙර පැවති මැතිවරණ හා සැසඳීමේදී පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවක් දක්නට ලැබෙන බවයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාවලපිටිය ආසන සංවිධායක එච්.ඒ. රණසිංහගේ නිවසට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මේ හේතුවෙන් නිවසට සහ එහි තිබූ මෝටර් රථ 2 කට අලාභහානි සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් තුවාල ලැබූ තම පුතුන් දෙදෙනාද ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව එච්.ඒ. රණසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු ගම්පොල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එමෙන්ම පුත්තලම ප්‍රදේශයේ නිවසකට අලි වෙඩිල්ලක් එල්ල කළ පුද්ගලයෙකු සහ මැතිවරණයේ ජය සමරමින් සිටි දෙදෙනෙකුට පහරදුන් තවත් පුද්ගලයෙකු සොයා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පුලියන්කුලම – අලූත්ගම ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ අලි වෙඩිල්ලක් එල්ල කළ බවට නිවසේ හිමිකාරිය සාලියවැව පොලීසියට පැමිණිල්ලක්ද කර ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර දඹුල්ල ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයින් අතරින් දෙදෙනෙකු මේ වනවිටත් සීගිරිය ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මැතිවරණ කාලසීමාවේදී සහ පශ්චාත් මැතිවරණ කාලසීමාවේදී පුද්ගලයින් එකසිය හැට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඉන් 37 දෙනෙකු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් බවද පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියා.