මේ රට තවදුරටත් මේ බොරු ෂෝක් දේශපාලනයේ නියුතු විය යුතු නැතැයිද, ජාතික හෙළ උරුමය 2020 දි පවුල් රකින්නෙවත් ගජමිතුරො රකින්නෙවත් නැතැයිද, ජාවාරම්කාර පිරිස් සමග දේශපාලන සොහොනට යන්නේ නැතැයිද ජාතික හෙළ උරුමයේ මහලේකම් ඇමැති පාඨලී චම්පික රණවක ඔවුන්ගේ මැයි දින රැස්වීම අමතා පසුගියදා ප්‍රකාශ කෙළේය.
අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දිරිය මැයි දිනය නමින් නම් කර තිබූ එම රැස්වීම අමතා දේශනයක් කළ චම්පික රණවක 2020 වන විට ප්‍රචාරයක් නොකරම නාගරික සංවර්ධන අධිකාරියෙන් නිවාස 20,000 ක් තනා දීමට කටයුතු සැලසුම් කර ඇති බවත්, 2023 වන විට පැල්පත් නැති කොළඹ නගරයක් නිර්මාණය කරන බවත් පැවසීය. ශ්‍රමිකයින් සඳහා රක්ෂණාවරණ 1000 ක් පිරි නැමීමද මෙහිදී සිදු කෙරුණි.
විද්‍යාත්මක ක්‍රමය යනු කුමක්දැයි පැහැදිලි කළ ඉංජිනේරුවෙකු වන චම්පික රණවක ඇමැතිවරයා කළ කතාවේ සාරාංශයක් පහත දැක්වේ.
“අප පසුගිය වසරේ ආරම්භ කලා මෙරට වැඩකරන, දහදිය හෙළන සමාජයේ අන්තම පීඩාවට පත් වෙලා ඉන්න අපේ ජනතාව වෙනුවෙන් නිශ්චිත රක්ෂණාවරණයක් ලබාදීලා ඔවුනගේ ජීවිත සුරක්ෂිත භාවය ආරක්ෂා කර ගැනීම සඳහා වන වැඩසටහනක්. එම වැඩසටහන මේ වසරේදීත් ඉදිරියට ගෙනයන්න කල්පනා කළා. මේ මහා කොළඹ නගරයේ අද 70% ක් ජීවත් වන්නේ පැල්පත්වල. විවිධ ආණ්ඩුවල විවිධ වැඩපිළිවෙලවල්, වැඩසටහන් තිබුණත් මෙම ජනතාවගේ ගැටලූව සදහටම 100% කින් විසඳන්න කිසිම වැඩපිළිවෙලක් වැඩසටහනක්, කිසිම ආණ්ඩුවකින්, කිසම දේශපාලනඥයෙකුගෙන් දියත් වුණේ නැහැ. අද අපි ප්‍රධාන නගර පහක් කොළඹ නගරය ඇතුළත ගොඩනගමින් තිබෙනවා. ඒවයේ ප්‍රතිපළ මෙම වසරේ, ලබන වසරේ අපට ලබා ගන්න පුළුවන්. උතුරු කොළඹ පැල්පත්වල ජීවත් වූ මඩවගුරුවල ජීවත් වූ, මත්ද්‍රව්‍ය, දුරාචාරයන්ට සම්බන්ධ වෙමින් තමන්ගේ ජීවිත විටින් විට සෑම අවස්ථාවකදීම මැයි දිනයේදී දේශපාලකයින්ගේ පෙළපාලිවලට, අරක්කුවලට, බුරියානි පැකට් එකට විකුණපු ජනතාවගේ ජීවිත වෙනස් කිරීම සඳහා අපි අද විශාල නගරයක් උතුරු කොළඹ ඉදිකරමින් යනවා. ඒ නගරයේ අරමුණ අනාගතයේ පැල්පත්වාසීන්ගෙන් තොර සුන්දර උතුරු කොළඹක් ඇති කිරීමයි. අපි මෙම වසර අවසන් වන විට නිවාස 9000 ක් පමණ හේනමුල්ල නව නගරයේ ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. එහි වැදගත්කම මෙයයි, මෙරට නාගරික නිවාස සංවර්ධනයේ ප්‍රමුඛයෝ හැටියට එදා පීටර් කෙනමන් මැතිතුමා වගේම ආර්. පේ‍්‍රමදාස මැතිතුමා වැනි අය කි‍්‍රයා කළා. ඒ වගේම චන්ද්‍රිකා බණ්ඩානායක මැතිණියගේ කාලයේ සහස්පුරය ගොඩනැගුණා සේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයෙත් මිහිදුසෙන්පුර ආදී නාගරික ව්‍යාපෘති ගොඩනැගුණා. මේ සියල්ල එකතු කළත් කොළඹ නගරයේ නිවාස සෑදී ඇත්තේ 1600 යි. අපි මේ 2020 වන නාගරික සංවර්ධන අධිකාරියෙන් කිසිඳු ප්‍රචාරයකින් තොරව අපි අපේ ජනතාවට නිවාස 20000 ක් ලබාදෙන්න කටයුතු කරනවයි කියන එක අපි කියන්න ඕනේ.
එය තමයි අපි මෙරට නාගරික පීඩිතයාට කරන ලොකුම මෙහෙය. ඒ වගේම ඔහුට උතුරු කොළඹ පමණක් නෙමෙයි, දෙමටගොඩ ප්‍රදේශයේ තව නගරයක් ගොඩනැගෙනවා. කොළොන්නාවේ තව නගරයක් ගොඩනැගෙනවා. මාලිගාවත්ත, වගේම නැගෙනහිර කොළඹ නාවල ප්‍රදේශයේ තවත් නගර ගොඩනැගෙනවා. එම නගර පහ ආවට පස්සේ කොළඹ නගරයේ දුම්රිය මාර්ගයේ ගෙවල් සාදාගෙන සිටින අය තෙල් නලය උඩ ගෙවල් අල්ලාගෙන සිටින අය, ජලනල උඩ, බේරේ වැව ආදී ස්ථානවල වැසිකිලි කැසිකිලි නැතිව වතුර පාරවල්වල එම කටයුතු සිදුකරන ජනතාවගේ ජීවිත වෙනස් කරන්න අපි කටයුතු කර තිබෙන බව අපි මතක් කළ යුතුයි. මෙම නිවාස ඉදිකිරීම් කටයුතු සිදු කළ පසුගිය කාලයේ සියළු නායකයින්ට රාජ්‍ය මූල්‍ය අනුග්‍රහය ඇති තරම් ලැබුණා. නමුත් අවාසනාවකටප අද ආණ්ඩුව පත්වී තිබෙන පැරණි ණය බරේ ගැටළු නිසා අපට අරමුදල් නොතිබුණත් අරමුදල් සම්පාදනය කරගෙන කාටවත් නහයෙන් හඬන්නේ නැතිව එම කටයුත්ත දියත් කර තිබෙනවා. 2023 වන විට පැල්පත් නැති නගරයක් බවට කොළඹ නගරය පත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. එම පරිවර්ථනයක් සමගම අප නගරයේ වැර වෑයමෙන් ජීවත්වන එම ජනතාවගේ ජීවිතත් පරිවර්ථනය විය යුතුයි. එම ජනතාව අධ්‍යාපනයෙන්, සෞඛ්‍යයෙන්, ජීවිත රැුකවරණයෙන් වර්ධනය වී ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අවශ්‍යය කරන පියවර තමයි අපි මේ පියවරෙන් පියවර තබාගෙන යන්නේ.
ඒ වගේම කොළඹ නගරයේ විසඳන්න බැහැයි කියල තිබූ කැළි කසළ ගැටළුවට විසඳුම් ලබාදීමට අපට හැකිවී තිබෙනවා. පසුගිය කාලයේ හමුදාවෙන් යොදවලා කොළඹ කැළි කසල එකතු කරලා මීතොටමුල්ල නගරයේ ගොඩගහලා කුණු කන්දක් හදලා කොළඹ ලස්සන කළා. පසුගිය වසරේදී එයින් මහා ඛේදවාචකයක් සිදුවුණා. දැන් එය මේ රටට මතක නැහැ. අද අපි කොළඹ නගරයේ 95% ක් කැළි කසළ අද වෙන් කරලා විධිමත් සැලසුම් කරණයට අනුව ලබාදෙනවා. ඒ කැළි කසල එකතු කරන පුද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ එම ජනතාවට ධෛර්යමත් ජීවිතයක් අපි සහතික කරලා ලබාදී තිබෙනවා. ඒ වගේම කැළිකසල වලින් අප අමාත්‍යාංශය මගින් කෙරවළපිටියේ කොම්පොස්ට් පොහොර හැදෙනවා. එමගින් මෙරට පොල්වලට, තේවලට, රබර්වලට පොහොර ලබාදෙනවා පමණක් නෙමෙයි, අනාගතයේ අපි ගොඩනගන වරාය නගරයේ, එහෙම නැත්නම් සාගර නගරයේ උදාකරන මේ අපේ විහාර මහාදේවී උද්‍යානය වගේ කිහිප ගුණයක් විශාල උද්‍යානයේ අනාගතයේ වැවෙන රූස්ස ගස්වලට පොහොර සපයන්නේ අද ඒ කොළඹ කැළි කසළවලින් කියන එක.
2007 වර්ෂයේදී කොළඹ නගරයේ ප්‍රවාහන අමාත්‍යාංශයත් සමග එකතුව වායු විමෝචන කි‍්‍රයාවලිය ආරම්භ කළහම නොයෙක් විවේචන ආවා. නමුත් අද ආඩම්බරයෙන් කිව යුතුයි ලෝකයේ නගර බොහොමයක් දූෂණයෙන් දූෂණයට යද්දී දූෂණය අඩු කර ගත් එකම නගරය බවට කොළඹ නගර පත් වුනේ එදා අපි දූර දර්ශීව ගත් කි‍්‍රයා මාර්ගය නිසයි මිත්‍රවරුණි. අද කොළඹ නගරයේ මධ්‍යම පාන්තික නිවෙස්වලට අවට කලාපයේ පිරිස් අද විවෘතව පැමිනෙන්නේ මෙය ජීවත් වීමට හැකි නගරයක් බවට හඳුනාගත් නිසයි. මේ වරාය නගරය හදන ආයෝජක සමාගමේ ප්‍රධානියෙක්ගෙන් මම ඇහුවා ඇයි මේ ලොකු ආයෝජනයක් කරන්නේ කියලා. ඔහුගේ ඉතාම කෙටි පිළිතුර වූයේ මගේ බාල සහෝදරයා බීජිං නගරයේ හුස්ම ගැනීමේ ගැටළුවක් මත මිය ගියා. මගේ ජීවිතය එයින් වෙනස් උනා. පිරිසිදු වායුව ජලය තිබෙන මේ වගේ රටක් මේ කලාපයේ නැහැ. මේවට කොපමණ ධනයක් ආයෝජනයක් කළත් කමක් නැහැ. පිරිසිදු වතුරයි, පිරිසිදු වායුවයි රැකගත්ත ලංකාවට අපි ආදරෙයි කියලා. අපි අපේ මතු පරපුර වෙනුවෙන් මේ උරුමය රැකගෙන ඉදිරියට යා යුතුයි. ජලපද්ධති විනාශ කරලා, පරිසර පද්ධති විනාශ කරලා අපේ වායු පද්ධති විනාශ කර අපට ගමනක් නැහැ. කැළි කසළ පාලනය කළා වගේම අපේ ජලපද්ධතිය රැුක ගැනීමේ වගකීමත් අප ඉදිරියේ තිබෙනවා.
අද මේ රටේ දුගීකම, අපි කිව යුතුයි, නොයෙක් ආකාරයෙන් අපේ දුගී කම වෙනස් වෙලා තිබෙනවා. ආහාරවේලක්, වස්ත්‍රයක් නැති කම තමයි ඉස්සර දුගී කම කිව්වේ. නමුත් අද දුරකතනයක් නොමැතිකම, විදුලිය නොමැති කම, මෝටර් සයිකලයක්, වාහනයක් නොමැතිකම දුගී කම බවට පත්වෙලා තිබෙනවා. අද මේ රට මධ්‍ය ආදායම් ලබන රටක්. නමුත් තවමත් අපේ රටේ සමහරුනුත්, දේශපාලකයනුත් එම තත්වයට උචිත ආකාරයෙන් නෙමෙයි හැසිරෙන්නේ. මේ රටේ ඉතාමත්ම සීමා සහිත පිරිසක් ඉන්නවා අන්ත දුප්පත් කමින්. 6% ක පිරිසක් අන්ත දුප්පත් කමෙන් ඉන්නේ. නමුත් සමෘද්ධි සහනාධාරය ලැබෙනවා රටේ 1/3 කට විතර. නමුත් 6% යි අන්ත දුප්පත් කමෙන් ඉන්නේ. අප කුමක්ද කළ යුත්තේ. අපි කළ යුත්තේ හරියටම අන්ත දුගී පිරිස තෝරාගෙන එම පිරිස දුගී කමෙන් මුදවා ගැනීම තමයි අප කළ යුත්තේ. එදා රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා ජනසවිය ගෙනෙන වෙලාවේ මෙරට 33% ක් දුගී කමේ පත්ලේ ජීවත් උනා. එනිසා දුගියා මුල්කරගත් එවැනි සහණාධාර ක්‍රමයකට ශක්තියක් තිබුණා. අද අපට මේ 6% ගොඩදාගන්නට කටයුතු කල යුතුයි. අපි අද කොළඹ නගරයේ හදන නිවාස ජාතික හෙළ උරුමයට බෙදන්නේ නැහැ. ඒවා බෙදන්නේ නිවාස නැති අයට පමණයි. ඒ වගේම අනාගත සමෘද්ධි ක්‍රමය ගොඩනැගෙනවානම් ගොඩනැගිය යුත්තේ ශ්‍රී ලංකා කාරයින්ට, එක්සත් ජාතික පක්ෂිකයන්ට සමෘද්ධි බෙදන ව්‍යාපාරය් හැටියට නෙමෙයි මේ රටේ අන්තම දුගී පිරිසට සදහටම දුගී භාවයෙන් මුදා ගැනීමේ ව්‍යාපාරයක් හැටියටයි එය ගොඩනැගිය යුත්තේ කියන එක අපි කියන්න ඕනේ.
පසුගිය සාමාන්‍යපෙළ විභාගයේ අංක එකට පැමිණියේ ගම්පහ රත්නාවලී විද්‍යාලයේ දරුවෙක්. රාජකීය විද්‍යාලයේවත්, විශාඛා විද්යාලයෙවත්, ආනන්දු විද්‍යාලයේවත් දරුවෝ නෙමෙයි. අද ගම්බද විද්‍යාල අද විප්ලවකාරී ආකාරයේ පරිවර්ථනය සිදු කරමින් ඒ දරුවන් ඉදිරියට ඇවිත් තිබෙනවා. මේ විප්ලවකාරී පාරිවර්ථනය අද සිදුවෙමින් තිබෙනවා මේ සමාජයේ සිදුවෙමින් තිබෙන දැන උගත් දරුවන්ගේ දේශපාලනයක් අද අත්‍යාවශ්‍යයි. ජාතික හෙළ උරුමය 2020 දි පවුල් රකින්නෙත් නැහැ, ගජමිතුරො රකින්නෙත් නැහැ. නව පරපුරටකට රට ඇත්තටම බාරදෙන වැඩපිළිවෙලකට අපි ගෙනයනවා කියන එක අපි මේ අවස්ථාවේදී ඔබ හැමට මතක් කරනවා. සමහරු හිතන් ඉන්නවා පවුල මොන මොනවා හරි බොරු ටිකක් කියලා රටේ ජනතාව අනාරක්ෂිතයි කියලා බොරු කරලා රට ආරක්ෂා කරන්න පුළුවන් කියලා ඒක පෙන්නලා බලයට එන්න වලිකනවා. අමතක කරන්න හොඳ නැහැ අද ඔය රට බේරගත්ත කියන අය මාවිල් ආරු සොරොව්ව වහපු වෙලාවේ කකුල් වෙව්ල වෙව්ල මේස යට හිටපු හැටි අපි දන්නවා මිත්‍රවරුණි. ඒ වගේම ජනාධිපතිවරණයට කොටින්ට සල්ලි දීපු පිිරිස් හරහා කොටින්ට සල්ලි ටිකක් දීලා මාවිල්ආරු සොරොව්ව විවෘත කර ගන්න කටයුතු කළ හැටි අපි දන්නවා. නමුත් අපි එදා අධිෂ්ඨානශීලිව මැදිහත්වීම නිසා තමයි ත්‍රස්තවාදය පරාජය උනේ. ත්‍රස්තවාදය පරාජය උනාහම මේ ගොල්ලො අද ඉදිරියට ඇවිල්ලා අපි තමයි රට බේරාගතත වීරයෝ කියලා කියන්නෙ. කමක් නැහැ. අපි මතක් කරනවා 2006 ජූනි 18 වෙනිදා ත්‍රස්තවාදය මුතූර්වලට පහර දෙද්දි කකුල් වේව්ල හිටපු හැටි විතරක් ඒ අයට අපි මතක්කර ගන්න කියනවා. අපට මඩ ගහන්න වෙනම සේනාංක, රූපවාහිනි නාලිකා සංවිධානය කරගෙන හිටියට කමක් නැහැ. මතක තියා ගන්න අපේ දෙපා එදත් කෙළින් ශක්තිමත්, හෙටත් කෙලින් ශක්තිමත් ඔය අසූචිවලින් පහර දෙන පිරිස් වලට බොහොම පැහැදිලිව මතක් කරන්න ඕනේ.
ඒ වගේම මිත්‍රවරුණි අපි කිසිම අවස්ථාවක නාස්තිකාරී වියදම් වලින් මේවා කරලා වැඩක් නැහැ. අද මේ සමහර දේවල්වලට කර තිබෙන වියදම් පූර්ණය කර ගන්න තව පරම්පරා ගණනකට බැහැ. බලන්න මේ යුධ හමුදා මූලස්ථානය, රටේ වටිනම ඉඩම තුට්ටු දෙකට විදේශිකයන්ට සින්නක්කරව විකුණලා ඒ මුදලින් යුධ හමුදා මූලස්ථානය හදනවා කිව්වා. ඒ පිරිස් අද ඉන්නේ මහපාරේ. අවුරුද්දකට කෝටි 500 ගණනේ යනවා. යුද හමුදා මූලස්ථානය පටන් ගත්තේ මිලියන 8000 කින් හදනවා කියලා. දැන් අද වන විට මිලියන 64 000 ක් ගිහිල්ලා. මේකේ වැඩ ඉවර වෙන විට බිලියන 100 කටත් වඩා ගිහිල්ලා. තව මේ රටේ පරම්පරා ගණනක් නෙමෙයි මේක ගොඩනගන්න මහද්වීපයක් ඕනේ වෙනවා මේ රටේ මේ කරපු විනාශකාරී ඉදිකිරීම් ටික නඩත්තු කරන්න මිත්‍රවරුණි. අපිත් හදනවා ගොඩනැගිලි, ඒ ගොඩනැගිලි මේ අපේ ජනතාවගේම ඊ ළඟ අවුරුදු 12 දී රටට ලාභ දෙන ගොඩනැගිලි බවට අපි පරිවර්ථනය කරනවා. යුධ හමුදා මූලස්ථානය වගේ කිහිප ගුණයක් විශාල ගොඩනැගිලි අපි බත්තරමුල්ලේ ඉදිකරගෙන යනවා මිත්‍රවරුනි. අපේ වෙනස එයයි. පරම්පරා ගණනකටවත් ණය ගෙවලා ඉවර කරන්න බැරි වගාඩම්බර අවතාරවලට ඉන්න පුළුවන් ගොඩනැගිලි හදලා, රට ණය කරලා, පරම්පරාව ණය කරලා. මහද්වීපයක්වත් අවශ්‍යයි ඒවා ගෙවන්න තත්වයේ ව්‍යසනකාරී ඉදිකිරීම් නෙමෙයි රටට ඔරොත්තු දෙන ජනතාවට ඔරොත්තු දෙන වැඩපිළිවෙලකුයි රටට අද අවශ්‍ය කරලා තිබෙන්නේ. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියන්න කැමැතියි අපි නොයෙක් දෙනාව පරීක්ෂා කර බැලූවා. ඇතැම් අයගේ දක්ෂකම් අදක්ෂකම් අපි දක්කා. දැන් අපි එකක් මතක තබා ගත යුතුයි. අපි බොහොම කැපවීමෙන් 2015 ඒ කැපවීම කළේ. සමහර තක්කඩි කිහිප දෙනෙකුට ජීවිත කාලයටම එකකාලයක් ලැබෙන මහා ජාවාරමක් හොරකමක් කර ගන්න සමහර තක්කඩි පිරිසක් එය යොදා ගත්තා. එයට ජනතාව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දඬුවම් ලබාදුන්නා. හැබැයි එයින්වත් පාඩම් ඉගෙන ගෙන නැතිබව අපි බොහොම කණගාටුවෙන් ප්‍රකාශ කළ යුතුයි. නමුත් අපි ලැහැස්ති නැහැ එවැනි ජාවාරම්කාර පිරිස් සමග දේශපාලන සොහොනට යන්න. ඒ නිසා මේ වසරේ නව ගමනක්, අලූත් මගක් ඇති කරන්න සෑම ප්රගතිකාමී, ජාතිකකාමී, මේ රටට ආදරය කරන සෑම ජනකණ්ඩායමක් සමගම අත්වැල් බැඳගෙන, උතුරේත්, දකුණේත්, නැගෙහිරත්, බටහිරත් අපි සියළු දෙනාම එකම ධජයක් යටතේ වැඩකරන ජනතාවත්, ඒ වගේම අපේ රටට ආදරය කරන වෘත්තීයවේදීනුත් ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයනුත් මේ සියළු දෙනාම එක ධජයක් යටතට එන නව වේදිකාවක් නව යුගයක් මේ වසරේදී නිර්මාණය කරනවා, යැයි පැවසීය.