බලය සහ ධනය මෙහෙයවන තනතුරු ගණනාවක් පසෙක තබා තමා පරිසර අමාත්‍යාංශය තෝරා ගත්තේ මිනිසා ප්රමුඛ සියලූ සත්වයින්ට ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
හිටපු ජනාධිපතිවරුන් ජනාධිපති ධුරයට පත් වූ වහාම මුදල් අමාත්‍යාංශය තමා යටතට පවරා ගත්ත ද තමා එසේ නොකර, ජනාධිපති ධුරයේ අසීමිත බලතල ද පාර්ලිමේන්තුවට පවරාදීමට කටයුතු කළ බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
අනාගත පරපුර වෙනුවෙන් පරිසරය රැක ගැනීමේ වගකීම ඉටුකිරීම සදහා පරිසර අමාත්‍යාංශය තමා යටතට පවරාගත් ඔහු සඳහන් කළා.
ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ අද (05/0 පෙරවරුවේ මන්නාරම නගර සභා ක්‍රිඩාංගණයේ පැවති ජාතික පරිසර සමුළුව අමතමින්.
ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේ පරිසර විනාශය වර්තමානයේ මිනිසාගේ පැවැත්මට බරපතළ තර්ජනයක් වී ඇති බවයි.
මිනිසුන් ද ඇතුළු සියලූ සත්වයන්ගේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් පරිසරය රැක ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් වී ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නා.
යම් දිස්ත්‍රික්කයක සිදුවන පරිසර විනාශය පිළිබද එම දිස්ත්‍රික්කයේ සියලූ රාජ්‍ය නිලධාරින් වගකිවයුතු වන අතර නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් දේශපාලන බලපෑමක් සිදුවන්නේ නම් තමා දැනුවත් කරන ලෙස ද ඉල්ලීමක් කළා.
පරිසරය රැක ගැනීම වෙනුවෙන් වූ සියලූ ජාත්‍යන්තර ප්රඥප්තීන්ට අද ශ්‍රී ලංකාව අනුගතව සිටින අතර, පරිසරය රැක ගැනීමේ දී ප්රමුඛ වූ තිරසර සංවර්ධන අරමුණු ජය ගැනීම වෙනුවෙන් ද සුවිශේෂී වැඩකොටසක් ඉටුකරමින් සිටින බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් කියාසිටියේ.