Gossips

පර්පෙචුවල් හිටපු අධ්‍යක්ෂවරයෙකුට ලබාදුන් නව පත් කිරීමක් ගැන ජවිපෙන් හෙළිදරව්වක්

ලේක් හවුස් ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස රන්ජන් හුළුගල්ල නමැති පුද්ගලයෙකු පත් කර ඇති අතර, ඔහු පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා.
කර්මාන්ත හා වානිජ කටයුතු, දිගුකාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ ජනමාධ්‍ය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ අද විවාදයට ගැණුනු අවස්ථාවේදී පැවති විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එම පුද්ගලයාගේ ගුවන් ගමන් බලපත්‍රය ද මේ වනවිට පවතින්නේ අධිකරණ භාරයේ බවයි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ.
එමෙන්ම, රජයට විශාල පාඩුවක් ඇති කරමින් සිදුවූ මහා පරිමාණ බැදුම්කර වංචාවේ සැකකරුවෙකු වන මෙම පුද්ගලයා නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වූවා නම් මේ වනවිට බන්ධනාගාර ගතව පසුවන්නෙකු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ.
එමෙන්ම මෙම ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද ඍජුවම සම්බන්ධ වී ඇති බවට චෝදනා කළ මන්ත්‍රීවරයා කියා සිටියේ ලේක් හවුස් ආයතනයේ මූල්‍ය අංශයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස රන්ජන් හුළුගල්ල පත් කර ඇත්තේ කුමන පදනමකින් ද යන්න ගැටලූ සහගත බවයි.
එහිදී නැගී සිටි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවෙහි අග්‍රාමාත්‍යවරයා මෙම ගනුදෙනුවට ඍජුවම සම්බන්ධ බවට කරුණු අඩංගු වී නැතැයි ප්‍රකාශ කළා.