Gossips

පර්පෙචුවල් සමාගමට තවත් නඩු 5 ක්

මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම, නීත්‍යානුකූල නොවන ආකාරයෙන් වත්කම් ඉපයීම නිසා රාජ්‍ය ආයතන 05 කට සිදුව ඇති රුපියල් බිලියන 8.5 ක අලාභය එම සමාගමයෙන් අය කර ගැනීම සඳහා සිවිල් නඩු 05 ක් ගොනුකර තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මේ බව කියා සිටියේ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇප ඉල්ලා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ඊයේ සලකා බැලූණු අවස්ථාවේදීයි.
එහිදී පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර සලකා බැලීම ලබන 18 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න තීරණය කළා.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ කියා සිටියේ පූර්වාදර්ශ නඩු තීන්දු 02 ක් අනුව මෙම පෙත්සම පවත්වා ගෙන යා නොහැකි අතර ඒ අනුව ඇප අයදුම සලකා බැලීම සඳහා විශේෂිත හේතු ඉදිරිපත් කර නොමැති බවයි.
අභියාචනාධිකරණයට මෙම ප්‍රතිශෝධන පෙත්සම සලකා බලා සිදුකළ හැක්කේ මහාධිකරණ නියෝගය අවලංගු කර පෙත්සම මහාධිකරණයට යොමු කිරීම පමණක් බවද ඔහු ප්‍රකාශ කළා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩගේ කරුණු දැක්වීම් ඊයේ අවසන් කෙරුණා.
ඒ අනුවයි පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන 18 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීන්දු කළේ.
පෙත්සම්කරුවන් තවදුරටත් අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින තමන්ට ඇප ලබාදීම පොදු දේපල පනත යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර ඇති බවයි.
එම තීරණයට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළත්, එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළ බැවින් කොටුව මහේස්ත්‍රාත්වරියගේ නියෝගය සහ කොළඹ මහාධිකරණයේ නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද මෙමඟින් ඉල්ලා තිබෙනවා.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ නීතිපතිවරයා හා මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයායි.