Gossips

පන්නිපිටියේ කෝටි හත්සීයේ දියමන්තිය රටින් පිටකර ඇති බවට සැක – කොල්ලය මෙහෙය වූ ‘මාතර මල්ලී’ අත්අඩංගුවට

පන්නිපිටියේ නිවසකින් පැහැරගෙන ගිය කෝටි හත්සීයේ දියමන්තිය විදෙස් රටකට රැගෙන ගොස් ඇති බවට සැක මතුව ඇති බව පොලිසිය පවසනවා.
විමර්ශන මෙහෙයවන පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව රත්මලාන – මැලිබන් හන්දියේදී ඊයේ අත්අඩංගුවට ගත් ‘මාතර මල්ලී’ නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවයි.
මේ අතර, මෙම කොල්ලයට ඔහුට සහය දැක්වූ තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවටද වාර්තා වී තිබෙනවා.
පසුගිය නොවැම්බර් මස 05 වැනිදා පන්නිපිටිය – ඇරැව්වල නිවසකට පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වූ පිරිසක් නිවෙස් හිමියාට ගිනි අවියකින් පහර දී තුවාල සිදුකර මෙම කෝටි හත්සීයේ දියමන්තිය සහ තවත් මැණික් කැබලි තොගයක් කොල්ල කා තිබුණා.
එම කොල්ලකෑම සිදුකරන අවස්ථාවේ මැණික් මිලදී ගැනීමට පැමිණි විදේශිකයෙකුද නිවස තුළ සිට ඇති අතර, ඔහුද පැහැර ගැනීමට ලක්වුණා.
වැඩිදුර පරීක්ෂණවලදී හෙලි වී ඇත්තේ පැහැර ගැනීමට ලක්වූ එම විදේශිකයා මේ වනවිට ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති බවයි. එමෙන්ම, කොල්ලකෑමට සම්බන්ධ වූ පුද්ගලයින් කිහිප දෙනෙකුද විදෙස්ගත වී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.
ඒ අනුව කෝටි හත්සීයේ දියමන්තියද රටින් පිට කර ඇති බවට සැක මතුවන බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් 38 හැවිරිදි තුසිත මධුරංග නොහොත් ‘මාතර මල්ලී’ නැමැත්තා පොලිස් භාරයේ රඳවා තබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බව සඳහන්.