Gossips

පන්ජාබ් පිල අයි.පී.එල්. පෙරමුණේ

ලෝකේෂ් රාහුල්ගේ සහ ක්‍රිස් ගේල්ගේ පිති හරඹයෙන් වර්ෂාවේ බාධකය බිඳ කොල්කටා කණ්ඩායම පරදවා ජය ලැබූ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම අයි.පී.එල්. ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් වුණා.
කොල්කටා හිදී ඊයේ පැවති මෙම තරඟයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිල සිය පන්දුවාර විස්ස තුලදී කඩුළු 07 ක් දැවී ලකුණු 191 ක් රැස්කළා.
වර්ෂාව හේතුවෙන් පන්ජාබ් පිලේ ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 13 කදී ලකුණු 125 ක් ලෙස සැකසුණු අතර, ඔවුන් පන්දුවාර 11 යි එක් පන්දුවකදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 126 ක් ලබමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.
වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව අත්හිටුවන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන කින්ග්ස්ලෙවන් පන්ජාබ් කණ්ඩායම කිසිවකුත් නොදැවී ලකුණු 96 ක් ලබා සිටියා.
ඒ වන විට වේගවත් පිතිහරඹයක නිරතවෙමින් සිටි ක්‍රිස් ගේල් ලබාසිටි ලකුණු සංඛ්‍යාව 49 ක්.
අනතුරුව යළිත් පිටියට පිවිසි ක්‍රිස් ගේල් නොදැවී ලකුණු 62 ක් රැස්කළා.
ඒ හතරේ පහර 5 ක් සහ හයේ පහර 6 ක් සමගින්.
ලෝකේෂ් රාහුල් පන්දු 27 කදී ලකුණු 60 ක් ලබාගත්තා.
ඊට හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් ඇතුලත් වුනා. තරගයේ වීරයා සම්මානය ද හිමිවුයේ ඔහුටයි.
මේ අතර ඊයේ පැවති දෙවැනි අයි.පී.එල්. තරඟයේදී දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම පරදවා කඩුළු 06 ක ජයක් වාර්තා කිරීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.
දිල්ලි පිල කඩුළු 05 ක් දැවී ලකුණු 174 ක් ලබාගත් අතර, බැංගලෝර් පිල පන්දුවාර 18 කදී කඩුළු 04 ක් දැවී ලකුණු 176 ක් ලබමින් තරඟයේ ජය හිමිකරගත්තා.
දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඒ.බී.ඩිවිලියර්ස් එහිදී පන්දු 39 කට මුහුණදෙමින් හයේ පහර පහක් සමඟ නොදැවී ලකුණු 90 ක් රැස්කිරීමට සමත් වුණා.