පණිවුඩකරු ඝාතනය කිරීම හෙවත් විගණකාධිපතිට එරෙහි විශ්වාසභංගය
ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේ සෑම රාජ්‍යයකම පාහේ රාජ්‍ය විගණනයේ කාර්යභාරය වනුයේ රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්ය සාධනයේ යෝග්‍යතාව පිළිබඳ පණිවුඩය ජනගත කිරීමයි. ඒ අනුව විගණකාධිපතිවරයා ජනතාව වෙත පාලන බලතලවල කාර්ය සාධනය පිළිබඳව පණිවුඩය ලබාදීමේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කරයි.
එම පණිවුඩය ලබාදීමේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටුකරන විගණකාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ ප්‍රවෘත්තියක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රචාරණය වනු පෙනෙයි. රාජ්‍ය විගණනය අසීරුතාවට පත් කිරීමට පියවර ගනු ලබන ඕනෑම අයකු එයින් සිදුවන වාසි අවාසි පිළිබඳව දූරදර්ශීව හා ඉතා බුද්ධිමත්ව සිතා බැලිය යුතු කරුණු ගණනාවක් ඇත. එහි ඇති යහපත් හා අයහපත් ප්‍රතිඵල යන දෙපැත්තම පිළිබඳව බුද්ධිමත් පාඨකයාගේ දැඩි අවධානය යොමුවීම අත්‍යවශ්‍යය.
රාජ්‍ය විගණනයෙන් මතු කරන නිරීක්‍ෂණවලට ජනතා අවධානය තියුණු ලෙස යොමුවීමට මෙබඳු අවස්ථාවලින් මනා පිබිදීමක් ඇති වීම අතිශයින් යහපත් ප්‍රතිඵලයකි. විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තාවලින් අති බහුතරය පාර්ලිමේන්තුවේ හෝ එහි කාරක සභාවල ගැඹුරු අධ්‍යයනකට ලක් නොවීම බැරෑරුම් ගැටලුවකි. එයට ඇති ප්‍රධානම බාධාව නම් සීමිත කාලයක් තුළ එම වාර්තාවලින් ආවරණය කළ හැකි වන්නේ ඉතාම සුළු කොටසක් පමණක් වීමය. එලෙස නිසි අවධානයක් නොලබන ඉතිරි සියල්ල කිසිදු ප්‍රමාණවත් ප්‍රතිඵලයක් ලබා නොදී පුස්තකාලවලට පමණක් සීමා වේ. විශේෂයෙන් බලයේ සිටින හෝ බලයේ සිටි දේශපාලකයන් තමාට සහ තම සහචරයන්ට අවාසි වන විගණන වාර්තා පසුපසට තල්ලු කරමින් තමාට සහ තම සහචරයන්ට දේශපාලන වාසි ලැබිය හැකි වාර්තාවලට ප්‍රමුඛතාව ලබා ගැනීමේ උත්සාහයන් දැරීම තවත් ගැටලුවකි. මෙවැනි මාධ්‍ය අවධානයක් යොමු නොවූවේ නම් ‘ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය’ පිළිබඳව වර්තමාන විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට යොමු කළ බව පෙනෙන යොමුගත වාර්තාවද එලෙස සභාගත කර ඇති අනෙකුත් බොහෝ වාර්තා මෙන් කිසිදු ජනගත වීමක් නොමැති නිෂ්ක්‍රිය වාර්තාවක්ම විය හැකිව තිබිණි. කෙසේ වුවද මෙම වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව ඇතැමුන් මෙතරම් කලබල වීමම ජනතාවට විශාල පණිවුඩයක් දැනටමත් ලබාදී ඇත.
මෙම ලිපියේ වඩාම වැදගත් කොටස වන යොමුගත වාර්තාවේ අන්තර්ගතය ගැන සඳහන් කිරීමට පෙර මතුව ඇති කරුණුවල අයහපත ගැනද කෙටියෙන් වුවද සඳහනක් කළ යුතුය. ලබාදී ඇති පණිවුඩය පිළිබඳව ගත යුතු සාධාරණ පියවර ගැනීම පසෙක තබා, පණිවුඩය ලබාදෙන පණිවුඩකරු විනාශ කිරීමේ අරමුණක්ද මෙහි වේ නම් එය සැබැවින්ම අයහපත්ය. අප මෙහිදී අවබෝධ කරගත යුත්තේ රාජ්‍ය විගණනය දුර්වල කිරීමේ සැබෑ වාසිය ලබනුයේ කවුරුන්ද යන වගය. සැබෑ වාසිය ලබන ඔවුන් නම් අනිවාර්යයෙන්ම දූෂකයන්ද, දූෂකයන් වෙනුවෙන් පෙනී සිටින ඔවුන්ගේ ඒජන්තවරුන්ද, දූෂකයන්ගේ ආධාර උපකාර ලබන්නන් හා ඔවුනගේ අන්ධ භක්තිකයන්ද වන බව පැහැදිලිය. එසේම විගණකාධිපතිවරයාට එරෙහිව එල්ල කරන ඕනෑම ප්‍රහාරයකින් දිවයින පුරා විසිරී සිටින සෑම විගණන නිලධාරියකුගේම කාර්ය සාධනයට හා ඒ ඒ ආයතන තුළ ඔවුන්ගේ වැඩ කිරීමේ ශක්තියට දරුණු හානියක් වන බවද ඉන් වාසිය උකහා ගැනීමට ඉහත කී කණ්ඩායම අනිවාර්යයෙන්ම සැදී පැහැදී උත්තේජනය ලබා දෙන බවද මෙම කරුණට අදාළ හැම පාර්ශ්වයම වටහා ගත යුතුය. දූෂකයන් හා ඔවුන්ගේ ඒජන්තවරු නිරන්තරයෙන් බලා සිටිනුයේ රාජ්‍ය විගණනයට හා ඒ සඳහා දහසක් දුෂ්කරතා මැද විශාල කැප කිරීම් කරන විගණන නිලධාරීන්ට අසීරුතාවක් ඇති කිරීමේ අවස්ථා උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමටය. විගණන පනත නොපමාව බලගන්වන බවට ජනතාව වෙත සහතික දී බලයට පත්වී විගණන පනත පමා කිරීමේ හා කප්පාදු කිරීමේ කටයුතුවලින් දූෂණ ක්‍රියාවලියට ආරක්‍ෂාව සලසා ගත්තවුන්ට එරෙහිව තියුණු ජනමතයක් ප්‍රකාශ වී ඇති මේ මොහොතේ රාජ්‍ය බලය ලැබීමට සූදානම් වන්නන්ද එම අවස්ථාව ලැබීමටද පෙර සිටම රාජ්‍ය විගණනය බිය ගැන්වීමට සැරසෙන්නේ නම් එය බරපතළ අයහපතකි. රාජ්‍ය විගණනය ශක්තිමත් කරනු වෙනුවට දුර්වල කිරීමේ අතීත ක්‍රියාකාරකම් යළිත් පණගන්වා සුපුරුදු මාවත නැවතත් තෝරා ගන්නා බවට පණිවුඩයක් එයින් මතු වන්නේ නම් එයද සැබැවින්ම බැරෑරුම් විනාශකාරී අයහපතක් වනු ඇත.
විශාල අර්බුදයක් ලෙස ඇතැම් මාධ්‍ය විසින් විග්‍රහ කරනු ලබන යොමුගත ‘ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය’ පිළිබඳ විගණන වාර්තාව අධ්‍යයනය කළ විට එහි අන්තර්ගතය වන ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය කෙතරම් භයානක හා අවදානම් තත්ත්වයකට ලක්වී ඇත්ද යන්න පිළිබඳව ඇඟ කිලිපොළා යන පණිවුඩයක් ලැබේ. මෙම වාර්තාවලට පාදක කර ඇත්තේ අනෙකුත් වාර්තාවලදී මෙන්ම අදාළ ආයතන විසින්ම ඉදිරිපත් කළ තොරතුරුම විය යුතුය. එම ආයතන විසින් රාජ්‍ය විගණනයට ඉදිරිපත් කළ තොරතුරු සෙදාස් නම් එහි වගකීම එම ආයතන භාරගත යුතු වන අතර නිවැරැදි තොරතුරු නොතිබීමේ හා ඉදිරිපත් නොකිරීමේ චෝදනාවලටද එම ආයතන බැඳෙනු ඇත. ඒ අනුව එම මාධ්‍ය ප්‍රචාර නිසා සැමගේ දැඩි අවධානයට මෙම වාර්තාව ලක් වීම තුළින් වඩ වඩාත් පොදු ජනතාවට අර්ථදායී වාර්තාකරණයකට රාජ්‍ය විගණනයකට මෙමඟින් සාධාරණ උත්තේජනයක් ලබා දීමද බෙහෙවින් පැසසිය යුතුව ඇත.
මෙම ලිපියෙන් පාඨක අවධානයට යොමු කිරීමට අපේක්‍ෂා කරනුයේ විගණකාධිපතිතුමා 2018.02.08 දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව නොව එතුමා එම සාකච්ඡාවට පාදක කළ 2018.02.02 දින පාර්ලිමේන්තුව වෙත සභාගත කිරීමට ලබාදී ඇති 154 (6) ව්‍යවස්ථාව ප්‍රකාර වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ අරමුදල් යටතේ (vi) කොටසේ ‘ශ්‍රී ලංකා ජනරජ ගිණුම’ පිළිබඳව සහ ‘ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය’ පිළිබඳව වන විගණකාධිපති වාර්තාවන්හි ප්‍රධාන විගණන නිරීක්‍ෂණයන්ය. එයින් ‘ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය’ පිළිබඳ විගණකාධිපති වාර්තාවේ දැක්වෙන ප්‍රධාන විගණන නිරීක්‍ෂණයන් අට මෙසේය.
(i) 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ජනරජයේ මූල්‍ය ප්‍රකාශන ලෙස නම් කර තිබුණද, ඒකාබද්ධ අරමුදලේ ගනුදෙනුවලට පමණක් මෙම මූල්‍ය ප්‍රකාශන සීමා වී තිබිණි. ඒ අනුව පළාත් සභා, පළාත් පාලන ආයතන, රාජ්‍ය ව්‍යවසායන් සහ ජනරජයට අයත් හෝ රජයේ පාලනය යටතේ පවතින වෙනත් ආයතනවලට අයත් ගනුදෙනු හා සිද්ධීන් සහ වත්කම් හා වගකීම් මෙම මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කර නොතිබිණි.
(ii) විගණනයට ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවලට අනුව, 2016 දෙසැම්බර් 31 දිනට රජය විසින් ගෙවීමට තිබූ මුළු දේශීය හා විදේශීය ණය ප්‍රමාණය ආසන්න වශයෙන් රු. ටි්‍රලියන 8.9 (රු. දසලක්‍ෂ 8,860,770)ක් වුවද, මූල්‍ය ප්‍රකාශනවලට අනුව, ගිණුම්ගත කර තිබූ මුළු වත්කම්වල වටිනාකම ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියන 1.1 (රු. දසලක්‍ෂ 1,087,255)ක් පමණ විය. මුළු ශුද්ධ ණය ගැනීම් ප්‍රමාණවත් ලෙස හා ඇස්තමේන්තුගත පරිදි ආයෝජන කාර්යයන් සඳහා උපයෝජනය නොකිරීම හා ඉන් ජනිත වන වත්කම් නිවැරැදිව හඳුනාගෙන ගිණුම්ගත නොකිරීම ආදිය මීට ආසන්න හේතුව වී තිබිණි.
(iii) රටේ ණය බර ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබුණද, ඊට සාපේක්‍ෂව මූල්‍ය නොවන වත්කම් ඉහළ ගොස් නොතිබීම.
(iv) රජය විසින් ලබාගනු ලබන මුළු ශුද්ධ ණයවලින් සැලකිය යුතු ප්‍රමාණයක් දෛනික අවශ්‍යතා (පුනරාවර්තන ස්වරූපයේ වැය) සඳහා භාවිත කර තිබීම.
(v) ඒක පුද්ගල ණය ප්‍රමාණය අඛණ්ඩව වර්ධනය වීම.
(vi) සංශෝධිත අය වැය ඇස්තමේන්තුවට සාපේක්‍ෂව සත්‍ය මූල්‍යකරණය (අය වැය හිඟය පියවීම) අඩු වීම හා ඊට අනුරූපීව 2016 වර්ෂයේ අපේක්‍ෂිත මුළු ණය ගැනීම් පහළ යෑම.
(vii) මූල්‍ය ප්‍රකාශවලට ඇතුළත් කර නොමැති ණය ශේෂ පැවැතීම.
(viii) උපලබ්ධි වූ නමුත් ප්‍රතිපාදන නොමැති වීම මත ගිණුම්ගත නොකළ විදේශ ණය පැවැතීම.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳව රාජ්‍ය විගණනය වාර්තා කර ඇති නිරීක්‍ෂණය අතිශයින්ම බරපතළ බවත් එය රටේ ජනතාවට වසන් නොකළ යුත්තක් බවත් විවාදයකින් තොරව පිළිගත හැක්කකි. විශේෂයෙන්ම රජය විසින් ගෙවීමට තිබූ මුළු දේශීය හා විදේශීය ණය අගය ආසන්න වශයෙන් රු. දසලක්‍ෂ 8,860,770ක් වන බවද ඉන් ගිණුම්ගත කර තිබූ මුළු වත්කම්වල වටිනාකම ආසන්න වශයෙන් රු. දසලක්‍ෂ 1,087,255ක් පමණ වන බවද දක්වා තිබීම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට පමණක් නොව නූගත් ගැමියකුට වුවත් සුළුකොට තැකිය නොහැකි කරුණකි. රු. බිලියන 7,800කට ආසන්න වත්කම් ගැන ගිණුම් සටහන්වල අනියතතාවක් වේ නම් ඒ ගැන පාර්ලිමේන්තුව පමණක් නොව මුළු ජනතාවම දැනුවත් විය යුතුය. එලෙසම ඒක පුද්ගල ණය ප්‍රමාණය මෙන්ම මූල්‍ය ප්‍රකාශන මඟින් සත්‍ය හා සාධාරණ තත්ත්වයක් අනාවරණය නොවන බව වාර්තා කර තිබීම විශාල අනියතතාවක් සනාථ කිරීමකි. එම වාර්තාවේ 5.1 ඡේදය අනුව පසුගිය වසර කිහිපයකදී ලබාගෙන තිබූ, තවදුරටත් ගෙවීමට ඉතිරිව ඇති රුපියල් බිලියන 826ක් පිළිබඳව විගණන නියැදි පරීක්‍ෂණ අනුව සොයා ගත් බව දක්වා ඇත. නියැදියක් අනුව මේ සා විශාල අගයක් ගිණුම්ගතව නැති බව අනාවරණය වී ඇති අතර ගිණුම්ගතව නැති ප්‍රමාණය කොතෙක්දැයි අනුමාන කිරීමටවත් නුපුළුවන. එයට අමතරව නීති, රීති හා රෙගුලාසි ආදියට අනුකූල නොවීමේ අවස්ථා ගණනාවක්ම එහි ඡේද අංක 8 යටතේ දක්වා ඇත. එහි ඡේද අංක 9 යටතේ නිරීක්‍ෂණ සම්පිණ්ඩනය ලෙසට (අ) සිට (ඌ) උප අංක වශයෙන් අර්ථවත් නිරීක්‍ෂණ හා නිර්දේශ ගණනාවක් දක්වා තිබීමද බෙහෙවින් අගය කළ හැකි.
ජනතා අවධානයට ලක්විය යුතු 2017 මැයි 31 දිනැතිව මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇමුතූ ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව විගණකාධිපති වාර්තාව’ද ඉහත කී වාර්තාවට අමුණා ඇත. එහි විශේෂත්වය වනුයේ ‘මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු හේතුවෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්‍ෂි ලබා ගැනීමට මට නොහැකිය. ඒ හේතු කොටගෙන මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි’ ලෙසට දක්වා තිබීමය. සාමාන්‍ය ආයතනයක මෙන් නොව සමස්ත ජනරජ ගිණුම පිළිබඳවම විගණන මතයක් ප්‍රකාශ කළ නොහැකි තත්ත්වයට රාජ්‍ය යාන්ත්‍රණයේ ගිණුම් කටයුතුභාවය පිරිහී තිබීම දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද අති භයානක තත්ත්වයකි.
මේ තත්ත්වය ජනතාවට හෙළිදරව් වීම දෙස ජනතාව බැලිය යුත්තේ දේශපාලන කෝණයකින්ද නැතහොත් ඊට වඩා පුළුල් ජාතික කෝණයකින්ද යන්න ජනතාව වටහා ගත යුතුය.
මෙම වාර්තා වී ඇති කරුණු ජාත්‍යන්තර ප්‍රතිරූපයටද එමඟින් ජාත්‍යන්තර ගනුදෙනුවලටද අතිශයින්ම ප්‍රශ්නකාරි වන බවද සැබෑය. ජාත්‍යන්තර ගනුදෙනුවලට බෙහෙවින් හානිකර විගණන වාර්තා වෙබ් අඩවිය ඔස්සේ ජනගත කිරීම ගැන විවිධ චෝදනාද එල්ල වනු ඇත. මේ තත්ත්වයට රට පත් කිරීමට වගවිය යුතු අතීත හා වර්තමාන පාර්ශ්වකරුවන් පණිවුඩය යටපත් කිරීමේ පහසුම මඟ ලෙස තෝරා ගනු ඇත්තේ පණිවුඩකරු වන රාජ්‍ය විගණනය විනාශ කිරීම හා දුර්වල කිරීමය. එහිදී සැබෑ ප්‍රශ්නය පසුපසට දමා යම් අතුරු කරුණක් සැබෑ ප්‍රශ්නය බවට පත් කරගන්නට යන බවක් මාධ්‍ය වාර්තා අනුව පෙනෙයි. යම් විගණන නිරීක්‍ෂණයක් දේශයට, යම් දේශපාලන පක්‍ෂයකට හෝ පෞද්ගලිකව තමාටම කෙතරම් හානිකර වුවද කිසිදු විගණනයකදී සත්‍ය විකෘති කර අසත්‍යය වාර්තා කිරීම හෝ නුදුටුවා සේ ගොළුවත රැකීම හෝ කළ නොහැකිය. නොකළ යුතුය. එසේ කිරීම ජාතික හා ජාත්‍යන්තර සම්මතයන්ට හා ආචාර ධර්මවලට පටහැනිය. කළ යුත්තේ විගණක නිහඬ කිරීම නොව විනිවිදභාවයක් සහිතව මූල්‍ය විනය තහවුරු කිරීමට රාජ්‍ය පාලකයන් තම නිලධාරීන්ට අවස්ථාව හා ශක්තිය ලබා දීමය. රාජ්‍ය මූල්‍ය පාලනය අර්ථවත් කිරීමය. රාජ්‍ය බලය අත්පත් කරගෙන සිටිය, සිටින හා සිටීමට අදහස් කරන සෑම අයකුම වටහාගත යුතු සරල සත්‍යය නම් විගණන පණිවුඩකරු ඝාතනය කිරීමෙන් සැබැවින්ම පහර වදිනුයේ සමස්ත රාජ්‍ය විගණනයටත් එමඟින් සමස්ත ජනතාවටත් වන බව සහ සැබෑ වාසිය ලබනුයේ දූෂකයන්ද ඔවුන් ආරක්‍ෂා කරන ඔවුන්ගේ ඒජන්තවරුන්ද වන බවය.
ඉහත කරුණු සියල්ල තුලනාත්මකව ඇගයීමේ දූරදර්ශී යහපත් අයකු ආවේගශීලී අවස්ථාවක කුමක් කීවද තම ක්‍රියාව නිසා ජනිත වන අවසන් ප්‍රතිඵලය අවබෝධ කරගෙන බුද්ධිමත්ව කටයුතු කරනු ඇතැයි සාධාරණ පුද්ගලයෝ අපේක්‍ෂා කරති.
හිටපු විගණකාධිපති
මව්බිම