Gossips

පණමෙන් පාපැදියට පෙම්කළ රටම ආදරය කළ ශූරයා අවසන් ගමන් යයි

70 දශකයේ රටම හඳුනන පාපැදි ශූරයෙකු වූ මහගොඩගේ හේමපාල මහතා හදිසි අනතුරකින් මියගොස් තිබෙනවා.
තමන්ගේ ජීවිත කාලය පුරාම පණමෙන් ආදරය කළ පාපැදිය අනතුරකට ලක්වීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අම්බලන්ගොඩ පැවැත්වෙන ප්‍රවීණයන්ගේ පාපැදි සවාරිය සඳහා පුහුණුවීම් සිදුකරමින් සිටියදීයි ඔහු අනතුරට ලක්වන්නේ.
අම්බලන්ගොඩ බෝගහවත්ත ප්‍රදේශයේදී පාපැදියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් එය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් ඔහු බරපතල තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.
අනතුරුව හිසට සිදුව ඇති බරපතළ තුවාල හේතුවෙන් බලපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි ඔහු මියගොස් ඇත්තේ.
70 දශකයේදී ධාවන ශූර මහගොඩගේ හේමපාල මහතා රටපුරා කතාබහට ලක්වන්නේ මහවැලි මහා පාපැදි සවාරියේ ශූරතාව හිමිකරගැනීමත් සමඟයි.
එතැන් සිට මේ දක්වා පැවති බොහෝ පාපැදි තරඟවල කතාබහට ලක්වූ ප්‍රවීණ චරිතයක් වූ හේමපාල මහතා මියයනවිට 72 හැවිරිදි වියේ පසුවූවා.
පාපැදියට මෙන්ම කලාවට ආදරය කළ ඔහු වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, රංගන ශිල්පියෙකු මෙන්ම වේදිකා නාට්‍ය පසුතල නිර්මාණ ශිල්පියෙකු ලෙසද කළා ලොව නම දිනා ගත්තා.