කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ අද පැවති පක්ෂ නායක රැස්වීම සදහා නියෝජිතයින් තුන්දෙනෙකු පමණක් සහභාගිවී තිබෙනවා.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් සහ ඊ.පී.ඩී.පී. නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා ඊට එක්වූ බවටයි තොරතුරු වාර්තා වුණේ.
හිරු ප්රවෘත්ති අංශය කථානායක මාධ්‍ය අංශයෙන් සිදුකළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ද ඒ බව තහවුරු කළා.
මෙම පක්ෂ නායක රැස්වීම අද පස්වරු 3 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණේ පළාත් සභා ඡන්දය, විසිවන සංශෝධනය සහ ඉදිරි පාර්ලිමේන්තු සතියේ වැඩකටයුතු සම්බන්ධයෙන් තීරණය කිරීම සදහායි. කෙසේ වෙතත්, සාකච්ඡාවට සභානායකවරයා, ආණ්ඩු පක්ෂයේ මෙන්ම, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන් සහ විපක්ෂ නායකවරයා ද සහභාගි නොවූ නිසා එය සාර්ථක වී නැහැ.
මේ අතර, පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අග්‍රාමාත්‍යවරයාගේ ප්රධානත්වයෙන්ද හෙට පස්වරුවේ තවත් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.
