Gossips

නොරොච්චෝලේ දුම ජයශ්‍රී මහා බෝ සමිඳුන්ට හානිකරදැයි සොයන්න පරීක්ෂණ

නොරොච්චෝලේ බලාගාරයෙන් ගල් අඟුරු දහනය වීමෙන් පිටවන ආම්ලික වායු නිසා ශ්‍රී මහා බෝධීන් වහන්සේට හානියක් සිදුවන්නේද යන්න පිළිබඳව සෙවීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පරිසර විද්‍යාඥ ආචාර්ය රනිල් සේනානායක කියා සිටියේ ඉදිරියේදී සක්‍රීය වනු ඇතැයි අපේක්ෂිත නිරිතදිග මෝසමත් සමඟ විෂ ආම්ලික සහිත වලාකුළු අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ දෙසට පැතිර යාමේ අවදානමක් පවතින බවයි.
ගල් අඟුරු දහනය වීමෙන් බැරලෝහ මෙන්ම සල්ෆර්ඩයොක්සයිඞ් වැනි විෂ වායු පිටවන අතර, මෙමඟින් අම්ල වැසි ඇතිවන බව ඔහු කියා සිටියා.
මෙම තත්ත්වය මත දැනටමත් නොරොච්චෝලේ අවට ප්‍රදේශවල ශාඛවල පත්‍ර කහ පැහැ ගැන්වී ඇති බවයි ඔහු සඳහන් කළේ.
කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂවරයෙකු වන කේ.ආර්. අබේසිංහ පවසන්නේ නිරිතදිග මෝසම් සුළං ඍජුවම අනුරාධපුරය දෙසට පැතිර යනු ඇතැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි.
ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ නඩත්තු කටයුතු භාරව සිටින්නේ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව වන අතර, අප මේ සම්බන්ධයෙන් එහි වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ෂෙලෝමි ක්‍රිෂ්ණරාජාගෙන්ද විමසීමක් කළා.
ඇය කියා සිටියේ මෙතෙක් එවැනි තක්සේරු වාර්තාවක් ලැබී නොමැති බවයි.
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව ලෙස ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීම සඳහා උපරිම වෑයම දරණ බවද ඇය සඳහන් කළා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කිරීම සඳහා ඉදිරියේදී විශේෂඥ කණ්ඩායමක් නොරොච්චෝලේ ප්‍රදේශයට පිටත් කර යවන බවයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.