Politics Sri Lanka

නේපාලයේ බලය යළිත් කොමියුනිස්ට් නායක කඩ්කා ප්‍රසාද් ඔලිට

නේපාලයේ බලය යළිත් කොමියුනිස්ට් නායක කඩ්කා ප්‍රසාද් ඔලිට

නේපාලයේ අගමැති පදවියට යළිත් වරක් එරට ජ්‍යෙෂ්ඨ කොමියුනිස්ට් නායකයකු වන එක්සත් මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ සභාපති කඩ්කා ප්‍රසාද් ඔලි (Khadga Prasad Oli) පත්ව සිටියි.

නේපාලයේ නව අගමැතිවරයා මෙයින් වසර පනහකට අධික කාලයකට පෙර සිය දේශපාලන ජීවිතයේ සමාරම්භය සනිටුහන් කරන ලද්දේ එරට රාජාණ්ඩුක්‍රමයට එරෙහිව එදා ගෙන යමින් තිබුණ සන්නද්ධ අරගලයට එකතු වීමෙනි. මේ වනවිට ඔහු 66වන වියේ පසුවෙයි.

මාවෝවාදීන් විසින් ගෙනගිය අරගලය ඔහු විසින් පසු කාලයෙහි දැඩි දෝෂ දර්ශනයට ලක් කළ විවේචකයකු බවට පත් වූ නමුත් ප්‍රචණ්ඩ විසින් නායකත්වය දෙනු ලබන නේපාල මාවෝවාදී පක්ෂයේ සහයෝගයත් මෙවර කඩ්කා ප්‍රසාද් ඔලි වෙත ලැබී ඇත.

ප්‍රචණ්ඩගේ නායකත්වයෙන් රාජාණ්ඩුවට එරෙහිව කැරලි ගැසූ නේපාල මාවෝවාදී පක්ෂය අවි බිම තබමින් 2006 වසරේ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එක් විය.

කඩ්කා ප්‍රසාද් ඔලි මෙයින් වසර එකහමාරකට පෙරත් නේපාල මාවෝවාදීන්ගේ ආධාරය ඇතිව අගමැති පදවියට පත් වුනත් මාවෝවාදී සහයෝගය අහිමි වීමත් සමඟ ඔහුට පදවියෙන් ඉවත් වීමට සිදු විය.

එක්සත් මාක්ස් ලෙනින්වාදී පක්ෂය සහ නේපාල මාවෝවාදී පක්ෂය අතර පැවති ගනුදෙනුව මෙයින් මාස කීපයකට පෙර පැවතුණේ පහළ මට්ටමකය.

එහෙත් පසුගිය මහ මැතිවරණයේ දී වාමාංශික සන්ධානයක් ගොඩනඟා ගනිමින් ඔවුන් තරඟ වැදුණ අතර ඉන් නොනැවතී තවත් පියවරක් පෙරට ගොස් එක් දේශපාලන පක්ෂයක් බවට පත්වීම දැන් එම පක්ෂ දෙකේ සැලැස්ම වී ඇත.

පසුගියදා පැවැත්වුන මැතිවරණයේ දී නේපාල පාර්ලිමේන්තුවේ ආසන 275න් 174ක්ම දිනා ගැනීමට එම වාමාංශික සන්ධානය සමත් විය.

එයින් ආසන 121ක් තනිව දිනා ගැනීමට අගමැති කඩ්කා ප්‍රසාද් ඔලි නායකත්වය දෙන එක්සත් මාක්ස් ලෙනින්වාදී පක්ෂය සමත් විය.

මෙය කඩ්කා ප්‍රසාද් ඔලි කත්මන්ඩු පාලනයට නායකත්වය දෙන අවස්ථාව වෙයි.

ඉන්දියානු දේශ සීමාව හරහා සිදු කෙරෙන සැපයුම්වලට බාධා කරනු ලැබීමෙන් අනතුරුව අගමැති කඩ්කා ප්‍රසාද් ඔලි සිය පසුගිය පාලන සමයේ චීනය සමඟ වෙළෙඳ සහ හුවමාරු ගිවිසුමක් අත්සන් කළේය.

2015 වසරේ පත්කර ගන්නා ලද ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ ප්‍රකාශනයක් නිකුත් කරනු ලැබීමෙන් අනතුරුව පැතිර ගිය විරෝධතා සමඟ එම දේශ සීමා බාධක පැනවීම සිදුවිය.

නේපාලය සහ චීනය අතර වෙළෙඳ ගිවිසුමක් අත්සන් තබනු ලැබීම ඉන්දියාව විසින් සලකන ලද්දේ අගමැති කඩ්කා ප්‍රසාද් ඔලි චීනය දෙසට නැඹුරුවීමක් ලෙසය.

එහෙත් එවැනි විශේෂ නැඹුරුවක් නොමැති බව අගමැතිවරයා දිගින් දිගටම කියා සිටියේය.

මේ අතර ඉන්දියානු ආණ්ඩුව සිය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මේ මස මුල දී නේපාලයේ සංචාරයක නිරත කරවීමට පියවර ගෙන තිබුණි.

බොහෝ දෙනෙක් එය දුටුවේ ඉන්දියාව අගමැති කඩ්කා ප්‍රසාද් ඔලි සහ ඔහුගේ පක්ෂය සමඟ සබඳතා ශක්තිමත් කර ගැනීමට දරන ප්‍රයත්නයක් ලෙසය.

ඉන්දීය විදේශ ඇමතිවරිය කත්මණ්ඩු සංචාරයේ දී අදහස් දක්වමින් නේපාල අගමැති ඔලි නායකත්වය දෙන නේපාල ආණ්ඩුවත් සමඟ එකමුතුව ක්‍රියාකිරීමේ අභිලාෂය පළකළාය.

බීබීසී සිංහල

Chinese President Xi Jinping (right) shakes hands with Prime Minister Khadga Prasad Oli (left) inside the Great Hall of the People Monday, on March 21, 2016 in Beijing, China. Photo: Lintao Zhang via AP