Gossips

නීතීඥවරයෙකුට පහරදුන්නැයි වැලිකඩ හිටපු ඕ.අයි.සී.ට වසරක සිර දඬුවම්

වැලිකඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කමල් අමරසිංහට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කොට තිබූ වසරක සිර දඬුවම වහාම ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළා.
සිය නිල ගිනි අවිය පෙන්වා නීතීඥවරයෙකුට අමානුෂික ලෙස පහරදී පොලිස් සිර මැදිරියේ රඳවා තැබීමේ චෝදනාවට වරදකරු කොට මොහුට වසරක සිර දඩුවම් නියම කරනු ලැබුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයයි.
එම අධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් පොලිස් නිලධාරියා අභියාචනා පෙත්සමක් ගොනුකර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් පැවැත්වූ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේ පෙත්සම්කරුගේ අභියාචනාව ප්‍රතික්ෂේප කරමින්.
ඊයේ මෙම තීන්දුව සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.ඞී. දෙහිදෙණිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු කරන නීතීඥවරයෙකු 2001 වසරේ දිනක සිය බිරිඳ සහ දරුවන් සමඟ ඔහුගේ වාහනයෙන් ඇතුල්කෝට්ටේ ප්‍රදේශය පසුකර යද්දී හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ රථයට ඉස්සර කොට ගමන් කිරීම නිසා කෝපයට පත්වූ මොහු අදාළ නීතීඥවරයාගේ රථය පිටුපස ලූහුබැඳ ගොස් එය නවත්වා සෙසු පිරිස හමුවේ ගිනි අවි පෙන්වා පහරදී තිබුණා.