Gossips

නීති විරෝධීව රැගෙන ආ බීඩි කොළ කිලෝ 1041ක් තලෙයිමන්නාරමේදී අල්ලයි

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී මෙරටට නීතිවිරෝධී ලෙස බීඩිකොළ රැගෙන ඒම ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව පවසනවා.
වසරේ ගතවූ මාස දෙක තුළ නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ බීඩිකොළ කිලෝග්‍රෑම් 3861 ක් අත්අංඩංගුවට ගෙන ඇති අතර, පසුගිය වසරේදී එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ බීඩිකොළ කිලෝග්‍රෑම් 3000ක ප්‍රමාණයක්.
මේ වසරේදී බීඩිකොළ සමඟ සැකකරුවන් 6 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. බීඩි කොළ වැඩි ප්‍රමාණයක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම සහ උතුරු මුහුදු ප්‍රදේශයේදී වීම විශේෂත්වයක්.
මේ අතර ඩිංගි බෝට්ටුවකින් බීඩි කොළ කිලෝ 912 යි ග්‍රෑම් 960 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගනු ලැබුවා.
තලෙයිමන්නාරම මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් මෙම බීඩි කොළ ගෝනි 27 ක අසුරා තිබූ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
පසුව කළ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ බීඩි කොළ අඩංගු පාර්සල් 6 ක්ද සොයා ගැනුනු අතර, ඒවායේ බර කිලෝග්‍රෑම් 120 ක්. මේවා ඉන්දියාවෙන් රැගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැක කරනවා.
සැකකරුවන් මන්නාරම සහ පේසාලේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද යාපනය ධීවර කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.