Gossips

නීතිය හා සාමය ඇමති පොලිස් ප්‍රධානීන් හමුවෙයි, මහනුවර වැසුණු පාසල් අද විවෘත වෙයි

මහනුවර පොලිස් කොට්ඨාශය තුළ සාපරාධී ක්‍රියාවලින් හානියට පත්වූ දේපළ පිළිබදව මෙතෙක් පැමිණිලි කර නොමැති පුද්ගලයින් නොපමාව ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත ගොස් පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරන ලෙසටයි.
නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සහ පොලිස්පතිවරයා ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් අතර විශේෂ සාකච්ජාවක් අද (12) පැවැත්වෙනවා.
මහනුවර දිස්ත්‍රික්කයේ පවතින වර්තමාන තත්ත්වය හා රටේ අනෙකුත් පළාත්වල නීතිය, සාමය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරෙනු ඇති.
එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හටගත් නොසන්සුන්කාරි තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 161 දෙනෙකු ඇතුලු ප්‍රදේශ කිහිපයක කළහකාරී සිද්ධීන්වලට සම්බන්ධ වූ 230 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ පසුගිය 07 වනදා සිට දින නියමක් නොමැතිව වසා දැමුණු පාසල් අද (12) යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.
එමෙන්ම, නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ පසුගිය බදාදා සිට තාවකාලිකව අවහිර කරනු ලැබූ සමාජජාල මාධ්‍යයට පිවිසීම අද (12) සිට යථා තත්ත්වයට පත්වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.