Politics Sri Lanka

නීතිය කැඩුවොත් ජීවිතාන්තය දක්වා හෝ අවුරුදු 20ක් දක්වා සිරදඩුවම්.

නීතිය කැඩුවොත් ජීවිතාන්තය දක්වා හෝ අවුරුදු 20ක් දක්වා සිරදඩුවම්.

නීතිය හා සාමය කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු සුවිශේෂ බලතල රාශියක් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පවරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයෙ(06)දහවල් 2.45 සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසයි. ඒ අනුව මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවැනි කොටස මේ වන විට ක්‍රියාත්මක වන බවත්, එහි පස් වැනි වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාශයට පත් කර ඇති බව ද ගුණසේකර මහතා කීවේය.

ජීවිත හානි සිදු කිරීම, තුවාල සිදු කිරීම, ලිංගික හිංසනය, දේපොළවලට හානි කිරීම, කොල්ලකෑම, ජාතීන් අතර පවතින සමගියට බාධා වන ආකාරයේ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම, එවැනි කතා දේශන පැවැත්වීම, එවැනි ලිපි පල කිරීම, එවැනි තත්ත්වයක් ඇති වන ආකාරයට සමාජ මාධ්‍ය භාවිත කිරීම ආදිය මෙම රෙගුලාසි යටතේ ගැණෙන වැරදි බවට ප්‍රකාශයට පත් කර තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එවැනි වරදකදී ජීවිතාන්තය දක්වා හෝ අවුරුදු 20ක් දක්වා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමේ දඬුවම පනවා ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

එම වරදවල් සිදුකිරීමට තැත්කිරීම හා කුමන්ත්‍රණය කිරීමද මේ යටතේම වරදක් වන අතර එවැනි වැරදි වලදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයන්ට පවරා ඇති බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එලෙස අත්අඩංගුවට ගන්නා සැකකරුවන් හැකිතාක් ඉක්මණින් ළඟම ඇති පොලිස් ස්ථානයට බාර දිය යුතු බව ද ප්‍රකාශ කළේය.