Gossips

නීතිපතිවරයාගේ කරුණු දැක්වීම අවසන්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම හෝ විනිශ්චයක් ලබාදීම සඳහා අධිකරණයට බලයක් නොමැති බව නීතිපති ජයන්ත ජයසූරිය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කළා.
සිය කරුණු දැක්වීම අවසන් කරමින් ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කළහොත් එය ව්‍යවස්ථාව මෙන්ම ජනතාවගේ ස්වාධිපත්‍යය අත්හිටුවීමකට සමාන බවයි.
කරුණු දැක්වීම සඳහා ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනීම තුළින් කිසිදු ආචාර ධර්මයක් උල්ලංගණය නොවන බව ඔහු ඊට පෙර ප්‍රකාශ කළා.
මේ අතර, මැදිහත්කරුවන් ලෙස පෙනී සිටීම සඳහා ඉදිරිපත් කර තිබූ පෙත්සම් 17කට අදාළ කරුණු දැක්වීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී දැන් ආරම්භ වී ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අද (13) දෙවන දිනටත් සිදුකෙරෙන්නේ අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.