Gossips

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ දිවුරුම් පිට බොරු සාක්ෂි ලබාදී ඇතැයි මහාධිකරණයේදී හෙළිවෙයි

ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා දිවුරුම් පිට බොරු සාක්ෂි ලබාදී ඇති බව විත්තියේ නීතීඥවරයා අද මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
විත්තිය සඳහන් කළේ ඒ අනුව දිවුරුම් පිට බොරු සාක්ෂි ලබාදීම සහ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා ඔහුට විරුද්ධව ගොනු කිරීම සඳහා අවශ්‍ය ලේඛන ඉදිරිපත් කරන බවයි.
ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා බොරු සාක්ෂි ලබා දුන් බවට විත්තිය චෝදනා කළේ රාඩා ආයතනය සම්බන්ධයෙන් වන නඩුව කොළඹ මහාධිකරණයේදී කැඳ වූ අවස්ථාවේදී.
උතුරු නැගෙනහිර, නිවාස ව්‍යාපෘතියකදී රාඩා ආයතනය මූල්‍ය අක්‍රමිකතාවයක් සිදු කළ බවට නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා දූෂණ විරෝධී පෙරමුණ වෙනුවෙන් 2015 වසරේදී පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබුණා.
නඩුවේ චූදිතයෙකුවන LTTE සංවිධානයේ මූල්‍ය අංශ ප්‍රධානියෙකු වූ එමිල් කාන්තන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශානක රණසිංහ මහතා විත්තියේ හරස් ප්‍රශ්න යොමුකරමින් අධිකරණයට පෙන්වා දුන්නේ කමල් දේශප්‍රිය යන ආරූඪ නමින් පෙනී නොසිටින බවට නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මීට පෙර නඩු දිනයේදී ප්‍රකාශ කළ බවයි.
කෙසේ වෙතත් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ විසින්ම රචනා කළ ග්‍රන්ථයක් ඇසුරෙන් විත්තියේ නීතීඥයා ඔහුගෙන් යළිත් ප්‍රශ්න කළේ කමල් දේශප්‍රිය යන නමින් පෙනී නොසිටියේද යන්නයි.
එහිදී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පිළිගත්තේ‍ තමන් 88 – 89 භීෂණ කාලයෙන් පසු කමල් දේශප්‍රිය යන නමින් පෙනී සිටි බවයි.
ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළේ ඒ අනුව නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා දිවුරුම් පිට බොරු සාක්ෂි ලබාදී ඇති බවයි.
එම චෝදනාව සහ අධිකරණයට අපහාස කිරීම යටතේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාට විරුද්ධව නඩු පවරන ලෙස නීතීඥවරයා විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියා.
එහිදී මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සඳහන් කළේ ඒ සඳහා නිසි ඉල්ලීමක් සිදුකරන ලෙසයි.
ඒ අනුව ජනාධිපති නීතීඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ප්‍රකාශ කළේ දිවුරුම් පිට බොරු සාක්ෂි ලබාදීම සහ අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කිරීම සඳහා අවශ්‍ය ලේඛන මීළඟ නඩු දිනයේදී ඉදිරිපත් කරන බවයි.
නඩුව එළඹෙන ඔක්තෝබර් 10 වැනිදා යළි කැඳවිමට නියමිත අතර එදිනට සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන්ට සිතාසි නිකුත් කළා.