Gossips

නිවාස සංවර්ධන අධිකාරියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් වෙයි

එළාර රජුගේ විජිතපුර පරිවාර බලකොටුව ලෙස සැළකෙන බැලූම්ගල පුරාවිද්‍යා භූමිය බැකෝ යන්ත්‍ර යොදාගෙන විනාශ කිරීම පිළිබඳව නිරික්ෂණය කිරීම සඳහා රාවණා බලය සංවිධානය ඇතුලූ තවත් සංවිධාන කිහිපයක් අද එහි ගොස් තිබුණා.
එම අවස්ථාවේදී ගුවන් යානයකින් අදාළ භූමිය කිසියම් පිරිසක් නිරීක්ෂණය කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
බැලූම්ගල පුරාවිද්‍යා භූමිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඇතුලූ පිරිස පැමිණියේ එම භූමිය අයත් අනුරාධපුර – ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටයි.
එම අවස්ථාවේදී පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඇතුලූ පිරිස අදාළ භූමිය විනාශ කිරීම සම්බන්ධයෙන් එහි බලධාරීන්ගෙන් විමසා සිටියා.
කෙසේ වෙතත් බලධාරීන් ඊට පිළිතුරු ලබාදෙනවා වෙනුවට එම ස්ථානයේ රැඳී සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් සමඟ සංවාදයක නිරතවුණා.
බැලූම්ගල පුරාවිද්‍යා ස්ථානය විනාශ කිරීමේ සිද්ධියට අදාළව මේ වනවිට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ වැඩබලන දිස්ත්‍රික් කළමනාකාරිනියගේ සහ එහි කාර්මික සහයකවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
සිදුකරන මූලික පරීක්ෂණවලට අදාළවයි ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත්තේ.
ඓතිහාසික වටිනාකමකින් යුත් බැලූම්ගල පුරාවිද්‍යා ස්ථානය බැකෝ යන්ත්‍ර යොදාගෙන විනාශ කර ඇති අයුරු හිරු ප්‍රවෘත්ති තුළින් මීට පෙර අනාවරණ කර තිබුණා.
නව ගම්මානයක් ඉදිකිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙම භූමිය බැකෝ යන්ත්‍ර යොදාගෙන හෙළි පෙහෙළි කර තිබුණේ පුරා විද්‍යා ස්ථානවලටද හානි සිදුකරමින්.
කෙසේ වෙතත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මෙහි ඉදිරි ක්‍රියාමාර්ග දැනුම්වත් කිරීම සඳහා කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර ඊට එක්වෙමින් අදහස් දැක්වූ එහි සභාපති සාගර පලන්සූරිය අවසර ලබාදුන් භූමි ප්‍රමාණයට වඩා හෙලි කිරීම් සිදුකර ඇති බවත් තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ යුතුව ඇති බවත් ඔහු එහිදී ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස අද පැවති කැබිනට් හමුවෙන් අනතුරුව බැලූම්ගල පුරාවිද්‍යා භූමිය විනාශ කිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පිළිබඳව පිළිතුරු ලබාදෙමින් කියා සිටියේ තමන්ගේ චරිත ඝාතනය සඳහා එවැනි චෝදනා සිදුකරන බවයි.
එමෙන්ම මෙම වැරැද්ද සිදුව ඇත්තේ නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරින් කිහිපදෛනකුගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. එවැනි නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද කටයුතු කරන බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.